ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව: කෙහෙළියගෙනුත් ප්‍රශ්න කරන්න යයි

455

ගෑවුණු පිරිසක් දැනටම රට ගිහින්

මහමොළකරුවෝ නිදැල්ලේ

සෞඛ්‍ය ක්‍ෂේත්‍රය අවදානමේ – GMOA කියයි

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට බෙදා හරිමින් රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි දිනවල දී හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායක යන මහත්වරුන් ඇතුළු ඉහළ නිලධාරින් රැසකගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසන්නේ මෙම මහා වංචාව සහ අපරාධය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පියවරෙන් පියවර ක්‍රමානුකූලව සිදු කරන බවයි.

මිනිස් ජීවිත බිල්ලට ගනිමින් සිදු කර ඇති මේ මහා අපරාධයට සම්බන්ධ කිසිවකුට හෝ ගැලවීමක් නොමැති බව ද මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන උසස් නිලධාරියෙක් කියා සිටියේය.

මේ අතර මෙම මහා වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගේ නිල කාර්යාලය සහ පරිවාර කාර්යාල සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු විසින් ඊයේ වටලා එහි සියලු සැක කටයුතු ලිපි ලේඛන පරීක්ෂා කිරීම ආරම්භ කළහ.

සමන් රත්නායක මහතාගේ නිල කාමරය සහ ඔහුට අයත් අනුබද්ධ කාර්යාල සීල් කරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය විසින් පෙරේදා (18 වැනිදා) නියෝගයක් ද කර තිබිණි.

මෙම මහා අපරාධයට සම්බන්ධ ඉහළ නිලධාරීන් ඇතුළු ප්‍රභූන් අත්අඩංගුවට නොගෙන විමර්ශන අඩපණ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විවිධ පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ල වන බව ද වාර්තා වෙයි.

එහෙත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කියා සිටියේ එවැනි කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත් බලපෑම් එල්ල වුව ද තම විමර්ශනය අඛණ්ඩව කරගෙන යන බවත්ය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයෝ 06 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටිති.

මේ අතර ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධියට සම්බන්ධ මහ මොළකරුවන් අත්අඩංගුවට නොගෙන සිටීමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය සහ නීති පද්ධතිය ද බරපතළ බිඳ වැටීමකට ලක්වීමේ අවදානමක් මතුව ඇතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ නිවේදනය කළේය.

අදාළ සිද්ධියට ඍජුව වගකිවයුතු තෝරු, මෝරුන් අතහැර, හාල්මැස්සන් අල්ලා ගැනීමෙන් රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වගකීම් විරහිතව කටයුතු කිරීම ගැටලුවක් බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවැති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

ව්‍යාජ හියුමන් ඉමිනුනොග්ලොබියුලින් වංචාවේ සැලසුම්කරුවන් සහ එම යාන්ත්‍රණය හෙළිදරව් කිරීම හිටපු සෞඛ්‍ය ලේකම්වරයාට ඉතිරිව ඇති එකම යුතුකම වනු ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

අත්අඩංගුවට පත් හිටපු සෞඛ්‍ය ලේකම්වරයාට සිද්ධියෙන් ගැලවීමට නොහැකි වුවත්, ඔහු කිසි විටෙක තම තනි මතයට ඍජු තීරණ ගත් පුද්ගලයකු නොවන බව පවසන එම සංගමය ඔහුගේ සියලු තීරණ පිටුපස හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සිටින බව ද අවධාරණය කරයි.

ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලින් ගනුදෙනුවට අදාළ සියලු සැලසුම් අමැතිවරයාගෙන් සිදුවූ බලපෑම් ඇතුළු වංචාවේ යාන්ත්‍රණය රටට හෙළිදරව් කිරීම සෞඛ්‍ය සේවාව වෙනුවෙන් හිටපු සෞඛ්‍ය ලේකම්වරයාට පැවරුණු වගකීමක් වන හෙයින් සිය සංගමය එය ඉටු කරන ලෙස ඔහුට බල කර සිටින බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධ මිලදී ගැනීමේ දී අදාළ ප්‍රසම්පාදන කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ වෛද්‍යවරු දෙදෙනෙක් විදෙස්ගතව සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

හදිසි මිලදී මිලදී ගැනීම් යටතේ ඖෂධ මිලදී ගන්නට අදාළ ප්‍රසම්පාදන කමිටුවේ සිටි මෙකී සමාජිකයින් දෙදෙනාගෙන් එක් අයෙක් ඇමරිකාවට ද, අනෙක් වෛද්‍යවරයා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇතැයි ද හෙළි වී තිබේ.

මේ අතර හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද ඊයේ (19 වැනිදා) වනවිට විදෙස්ගත වී සිටියේය.

හේමන්ත රන්දුණු, ශිරාන් රණසිංහ සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment