දින දෙකක් තුළ කෝටි 7ක වාහන අල්ලයි – දේපළ රාජසන්තකයි!

423

පාතාල මැරයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්නරුවන් 3320ක් හඳුනාගෙන

මෙරට සහ විදේශ රටවල සැඟවී සිටින සියලුම පාතාල අපරාධකාරයන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් දැනට හඳුනාගෙන ඇති කෝටි 7ක වාහන ඇතුළු සියලු දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරමින් සිටින බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

මෙරට සහ විදේශ රටවල සැඟවී සිටින පාතාල මැරයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 3320 දෙනකු මේ වනවිට හඳුනාගෙන සිටින අතර ඔවුන් මෙම ජාවාරම් හරහා උපයා ගත් දේපළ සියල්ල ද මේ වනවිට හඳුනාගෙන ඇතැයි තෙන්නකෝන් මහතා පවසයි.

එසේ හඳුනාගෙන ඇති මෙම අපරාධකරුවන්ට අයත් ඉඩකඩම් නිවාස සහ වාහන රන් ආභරණ ඇතුළු ජාවාරම් හරහා උපයාගත් සියලු දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇති බවද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියි.

ඩුබායි, ඉතාලිය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙන්ම පාතාලය ද පාලනය කරන අපරාධකරුවන් සියයකට අධික පිරිසකට අයත් දේපළ ද මේ වනවිට හඳුනාගෙන ඇති බව තෙන්නකෝන් මහතා පවසයි. දකුණු පළාතේ මෙන්ම රටේ තවත් ප්‍රදේශ ගණනාවක ඉදිකර ඇති මෙම පාතාල නායකයන්ට මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් සංචාරක හෝටල් ගණනාවක් මෙන්ම විවිධ ව්‍යාපාර රැසක් ද මේ වනවිට සොයාගෙන ඇත.

මේ සියලු වත්කම් ඉදිරි දිනවලදී රාජසන්තක කර දැමීමට අවශ්‍ය කටයුතු මේ වනවිට පොලිසිය ආරම්භ කර තිබේ.

මේ අතර දින දෙකක් තුළ සිදු කළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ පාතාල නායකයන්ට අයත් රුපියල් ලක්‍ෂ 700කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගි වාහන 9ක් පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ සියල්ල රාජසන්තක කිරීමට නියමිත බවද දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment