මහ කපුවා ආගිය අතක් නෑ – චූටි කපුරාලට ඇප

1476

කතරගම දේවාලයේ රන්තැටිය අතුරුදන් වීම

රුහුණු මහා කතරගම දේවාලයට පූජා කරන ලද රත්‍රං පවුම් 38ක් බරැති රන්තැටියක් දේවාලයේ ගබඩාවෙන් අතුරුදන් වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකාර කපුවන් දෙදෙනාගෙන් එක් අයකු කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) භාරවීමෙන් පසු සැකකරු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (19දා) දහවල් ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ තිස්සමහාරාම මහෙස්ත්‍රාත් තරිඳු ද සිල්වා මහතා සැකකාර කපුවා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත් සෑම ඉරිදාම කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසටත් නියෝග කළේය.

මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරියේ රුහුණු මහා කතරගම දේවාලයේ ගබඩා භාරකාර කපු මහතා ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චුටි කපුරාල නමැත්තායි.

පාතාල කල්ලි සාමාජිකයකු බව කියන අංගොඩ ලොක්කාගේ බිරිඳ වන අබේසිංහගේ නිසංසලා නමැත්තිය විසින් සිය දරුවාගේ අපල දුරු වීම සඳහා දරුවාගේ නම කොටන ලද රත්‍රං පවුම් 38ක් බර රන් තැටියක් 2019.07.03 දා කතරගම දේවාලයට දරුවාගේ අතින් පූජා කර ඇත. එදින එම පූජාව සිදු කර ඇත්තේ දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී.රත්නායක නමැත්තා විසිනි. පසුව එය දේවාලයේ ගබඩාවේ තැන්පත් කර තිබියදී අතුරුදන් වී තිබේ. දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාට කිසියම් අයකු විසින් නිර්නාමිකව කළ දැනුම් දීමකට අනුව බස්නායක නිලමේවරයා විසින් මේ සම්බන්ධයෙන් සොයා බලා තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ සිද්ධිය වූ කාල වකවානුව තුළ දේවාලයේ කටයුතු කර ඇත්තේ දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී. රත්නායක බවත් හා ගබඩා භාරකරු ලෙස කටයුතු කර ඇත්තේ ඔහුගේ මුණුබුරා වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුරාල නමැති අය බවත්ය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් 2021 ඔක්තෝබර් මාසයේ එවක සිටි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත කළ පැමිණිල්ලකට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වත්මන් වැඩබලන පොලිස්පති) දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙහි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ. ඒ අනුව එහි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරික්ෂක ඩී.ජේ. නිශාන්ත මහතා ඇතුළු කණ්ඩායමක් විසින් විමර්ශන පවත්වා තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබේ. ඒ අනුව නීතිපතිවරයා විසින් පසුගිය 07 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් දී ඇත්තේ මෙම සිද්ධියට අදාළව දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී. රත්නායක හා ඔහුගේ බෑණා වූ සමන් ප්‍රියන්ත නොහොත් චුටි කපුරාල නමැති දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව පසුගිය 11 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාර කපුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කතරගමට ගිය ද ඔවුන්ට හිස් අතින්ම යළි කොළඹ ඒමට සිදු වූයේ නිවෙස් තුළ කපුවන් දෙදෙනා නොසිටි නිසාය. විමර්ශන නිලධාරීන්ට නිවැසියන් දන්වා තිබුණේ කපුවන් දෙදෙනා ප්‍රතිකාර ලබා ගැනීමට කොළඹ ගොස් ඇති බවයි. කපුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටියදී ගබඩාව භාර කපු මහතා ඊයේ කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

සිද්ධියට සම්බන්ධ දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී. රත්නායක පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර ඔහු ද අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන පවත්වයි.

සැකකාර චූටි කපුවා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ එන්.එස්.එම්.සම්සුදින්, නීතිඥ ශිරාස් යූසුප් මහත්වරුන් සමග නීතිඥ ගීතාල් විජේසිංහ හා නීතිඥ හර්ෂි නිලූකා යන මහත්ම මහත්මීහු අධිකරණයේ පෙනී සිටියහ. මෙම නඩුව යළි 2024.05.13 වැනිදා කැඳවීමට නියමිතය.

මත්තල – දිලීප් එන්. ජයසේකර, සූරියවැව – රොෂාන් ගුණසේකර සහ දෙබරවැව – ඒ.ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment