47 වන ජාතික ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා හෙටින් ඇරඹේ

105

ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 760ක් කොළඹට

47 වන ජාතික ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ශූරතාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී හෙට (24 වැනිදා) උදෑසන ආරම්භ වීමට නියමිතය.

පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 760 දෙනකු ඒ සඳහා සහභාගි වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

තරගාවලියට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් 409 දෙනෙක් ක්‍රීඩකයෝ සහ 351 දෙනෙක් ක්‍රීඩිකාවෝ වෙති.

හෙට දිනයේ අවසන් තරග ඉසව් 8ක් සහ මූලික තරග ඉසව් 8ක් පැවැත්වීමට නියමිත වේ.

මීටර් 10000 කාන්තා අවසන් මහා තරගයෙන් හෙට දිනයේ තරග ආරම්භ වීමට නියමිත අතර මීටර් 5000 පිරිමි ධාවන තරගයේ අවසන් තරග ඉන් අනතුරුව පැවැත්වේ.

හෙල්ල විසි කිරීම පිරිමි අවසන් තරගය සහ කාන්තා රිටි පැනීමේ අවසන් තරගය ද හෙටට යෙදී ඇත.

එසේම කාන්තා තුන් තුන් පිම්ම සහ කාන්තා කවපෙත්ත විසිකිරීමේ තරගයේද අවසන් තරග හෙට පැවැත්වේ.

හෙට පැවැත්වෙන අවසන් තරග අතර මීටර් 100 කාන්තා සහ පිරිමි සහය ඉසව් ද වන අතර ඉන් අනතුරුව සමාරම්භක උත්සවය හෙට පස්වරු 03:30 ට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

තරගාවලියේ සමාප්ති උත්සවය ලබන 26 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

රටේ උද්ගත වූ කොරෝනා තත්ත්වය හේතුවෙන් 2022 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන්, පාපැදි සහ ඇවිදීමේ තරග පමණක් පවත්වා සෙසු ක්‍රීඩා 2023 වසරට කල්තැබීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගත්තේය.

ඒ අනුව ක්‍රීඩා 28 ක් මෙම වසරේ පැවැත්වීමට කල් තැබුණි.

පවතින මුදල් තත්ත්වය හේතුවෙන් ක්‍රීඩාවට පමණක් මුල්තැන දී බාහිර අලංකාරයෙන් තොරව මෙවර ජාතික ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට සැලසුම් කොට තිබේ.

මෙවර තරගාවලිය යටතේ ක්‍රියාත්මක සෑම ක්‍රීඩාවකම දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට මුදලින් රු:20000 බැගින් පිරිනැමීමට පියවර ගෙන ඇති අතර මේ වන විට පවත්වා අවසන් කොට ඇති ක්‍රීඩා 27 ක දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම මුදල් පිරිනමා ඇත.

මේ අතර 2023 වසර වෙනුවෙන් පැවැත්වීමට නියමිත 48 වැනි ජාතික ක්‍රීඩා තරගාවලිය මෙම වසරේ පවත්වනවා ද නැද්ද යන්න ක්‍රීඩා අමාත්‍යාංශය මෙතෙක් තීරණය කොට නැත.

එකම වසරක් තුළ ජාතික ක්‍රීඩා තරගාවලි දෙකක් සංවිධානය කිරීම විශාල මුදලක් වැය වන හෙයින් ඒ පිළිබඳව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේ පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාවක දී තීරණයකට එළඹීමට අමාත්‍යාංශ නිලධාරීහු බලාපොරොත්තු වෙති.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment