පාපන්දු සම්මේලන නිලවරණයට ලබා දුන් නාම යෝජනා 24ක් ප්‍රතික්ෂේප වෙයි

93

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ඉදිරි නිලවරණයේ සභාපති තනතුරට තරග කිරීම උදෙසා නාමයෝජනා දුන් හය දෙනාගෙන් හිටපු පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා ඇතුළු සිවුදෙනකුගේ නාමයෝජනා නිලවරණ කමිටුව අනුමත කර ඇති අතර හිටපු ජාතික පාපන්දු නායක සම්පත් පෙරේරා හා හිටපු පාපන්දු ලේකම් උපාලි හේවගේ යන මහත්වරුන්ගේ නාමයෝජනා දෙක ප්‍රතික්ෂේප කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා, හිටපු උප සභාපති එමානුවෙල් ආර්නෝල්ඩ් හා ජගත් කුමාර ද සිල්වා යන මහත්වරුන්ගේ නාමයෝජනා ද අනුමත වී තිබේ.

නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුර වෙනුවෙන් ඉදිරිපත් වූ නාමයෝජනා පහම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ අනුව අරුණ ශ්‍රිනාතන් නාගරාජන්, ඩබ්ලිව්. එම්. නිමල්, එම්. එම්. එන්. හසන්, එල්. එම්. මිරින්ඩා හා එම්. එස්. රහීම් යන මහත්වරුන්ගේ නාමයෝජනා සහතිකපත්‍ර ඉදිරිපත් නොකිරීමේ හේතු මත ප්‍රතික්ෂේප වී තිබේ.

භාණ්ඩාගාරික තනතුර වෙනුවෙන් ජේ. ශ්‍රී රංගා පාර්ශ්වයෙන් නාම යෝජනා ලබා දී තිබූ ඒ. නාගරාජා මහතාගේ නාමයෝජනාව අවශ්‍ය සහතික පත් ඉදිරිපත් නොකිරීමේ හේතුමත ප්‍රතික්ෂේප විය. නියෝජ්‍ය මහලේකම් (පරිපාලන) තනතුර වෙනුවෙන් ජස්වර් උමර් පාර්ශ්වයෙන් නාමයෝජනා දී තිබූ දිලූක පෙරේරා, ඇන්ටන් ජෝයි, ටී. කාන්තන් හා ටී. වර්තරාසන් යන මහත්වරුන්ගේ නාමයෝජනා සහතිකපත්‍ර ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ප්‍රතික්ෂේප වී තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තනතුරු 10ක් වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසුමට නාමයෝජනා 39ක් ලැබී තිබූ අතර, එයින් 24ක් ප්‍රතික්ෂේප වී තිබේ. එහෙත් මේ සම්බන්ධ අභියාචනා සතියක කාලයක් ඇතුළත ඉදිරිපත් කිරීමේ අවස්ථාව දී ඇත. එහිදී අභියාචනා ඉදිරිපත්වන නාමයෝජනා සම්බන්ධව යළි සලකා බැලීම් සිදු වේ. අනතුරුව අවසන් පිළිගත් නාමයෝජනා නිලවරණ කමිටුව විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

සභාපති තනතුරට ඉදිරිපත් වූ හිටපු ජාතික පාපන්දු නායක සම්පත් පෙරේරා මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇත්තේ දැනට පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීම හේතුවෙන් බව නිලවරණ කමිටුව දැනුම්දී ඇත. සභාපති තනතුරට නාමයෝජනා දුන් හිටපු පාපන්දු ලේකම් උපාලි හේවගේ මහතාගේ නාමයෝජනාව අවශ්‍ය සහතිකපත් ඉදිරිපත් නොකිරීම හා වයස 70ට වැඩිවීම යන හේතුමත ප්‍රතික්ෂේප කොට තිබේ.

පාපන්දු මහලේකම් තනතුර වෙනුවෙන් නාමයෝජනා දුන් ටී. එච්. එස්. ඉන්දික, එමානුවෙල් ආර්නෝල්ඩ් හා ජගත් කුමාර ද සිල්වා යන මහත්වරුන් පිළිගෙන ඇති අතර, උපාලි හේවගේ මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ.

උප සභාපති තනතුරු 5ක් වෙනුවෙන් නාමයෝජනා දුන් එස්. ඩී. නාගහවත්ත, එමානුවෙල් ආර්නෝල්ඩ්, දීපිකා කුමාරි හා ජගත් කුමාර ද සිල්වා යන මහත්ම මහත්මීන් පිළිගෙන ඇති අතර, ප්‍රියන්ත වීරසූරිය, ආර්. යෝගරාජා, අබ්දූල් මනාෆ්, මොහොමඩ් තවුෆීක්, ටී. අයි . උඩුවර, ඒ. එෆ්. සෙල්ලර්, ටී. කාන්තන්, කේ. පී. පී. පතිරණ හා සම්පත් පෙරේරා යන මහත්වරුන් ප්‍රතික්ෂේප වී සිටිති.

නියෝජ්‍ය මහලේකම් (තාක්ෂණ) තනතුර වෙනුවෙන් නාමයෝජනා දුන් එම්. එච්. එම්. නවුසිල් හා එම්. එම්. අස්රාඩ් යන මහත්වරුන්ගේ නාමයෝජනා පිළිගනිද්දී අබ්දුල් මනාෆ් හා ඇන්ටන් ජෝයි යන මහත්වරුන් ප්‍රතික්ෂේප වී ගියහ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය ලබන මස 14 වැනිදා පැවැත්වෙන අතර, එහිදී එක් පාපන්දු ලීගයකට එක් ඡන්දයක් පමණක් දීමට පාපන්දු නිලවරණ කමිටුව තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment