කාන්තා ලෝක කුසලාන අවසන් මහා සටන හෙට

337

ඔස්‌ට්‍රේලියාව අඛණ්ඩව 7 වැනි වරටත් අවසන් මහා තරගයට

පන්දු වාර 20-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි දී හෙට (26 වැනිදා) ප.ව.6.30ට පැවැත්වේ.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස පෙරේදා රාත්‍රී පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඔස්‌ට්‍රේලියාව සමත් වූයේය.

ඒ අනුව ඊයේ රාත්‍රී පැවැති දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ඔස්‌ට්‍රේලියාව සමග අවසන් මහා තරගයේදී මෙවර කුසලානයේ වෙනුවෙන් තරග වදිනු ඇත.

කාන්තා විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් කර

ගැනීමට ඔස්‌ට්‍රේලියාව පෙරේදා සමත් වූයේ ඉන්දියාව ලකුණු 5කින් පරාජය කරමිනි.

ඔස්‌ට්‍රේලියාව කාන්තා ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක අවසන් වටයට පිවිසියේ පිට පිට

7 වැනි වරට වූ අතර වසර 2010දී පළමු වරට අවසන් තරගයට එක් වූ ඔස්‌ට්‍රේලියාව එතැන් සිට මේ දක්වා පැවති සියලු ලෝක කුසලාන තරගාවලිවලදී අවසන් තරගයට එක් වී ඇත.

කේප්ටවුන්හිදී පෙරේදා රාත්‍රියේ පැවති එම තරගයේ
කාසියේ වාසිය දිනූ ඔස්‌ට්‍රේලියාව කඩුලු 4ක් දැවී ලකුණු 172ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ඉන්දීය ක්‍රීඩිකාවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 167ක් පමණි.

ඉන්දීය ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 28ක් තුළ බිඳ වැටුණ ද ජෙමීමා රොඩ්රිගස් සහ නායිකා හර්මන්ප්‍රීත් කෞර් එක්ව පන්දු 41කින් ලකුණු 69ක් එක් කරමින් ඉනිම යළි ගොඩනැඟූහ. කෞර් පන්දු 34කදී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 52ක් රැස් කළ අතර, දීප්ති ෂර්මා නොදැවී ලකුණු 20ක් ඉනිමට එක් කළාය. පන්දු යැවීමේදී ඩාර්සි බ්‍රවුන් සහ ඇශ්ලින් ගාඩ්නර් කඩුලුරෑ 2 බැගින් දවා ගත්හ.

ඔස්‌ට්‍රේලියා ඉනිමට වේගවත් ආරම්භයක් දුන් බෙත් මූනි පළමු කඩුල්ලට ඇලිසා හේලි සමඟින් ලකුණු 52ක් එක් කළේ පන්දු 45කිනි. හේලි ලකුණු 25කට දැවී ගිය අතර, අනතුරුව මූනිට එක් වූ නායිකා මෙග් ලැනින් ඉනිම ලකුණු 88 දක්වා ඉහළට රැගෙන ගිය අතර, මූනි දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. ලකුණු 54ක් රැස් කළ මූනි හතරේ පහර 7කින් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කර ගත්තාය. නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කළ ලැනින් ලකුණු 49ක් රැස් කළේ පන්දු 34කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟිනි.

advertistmentadvertistment
advertistmentadvertistment