වන ජීවී කලාප හතක අලි මිනිස් ගැටුම් උග්‍රවේ

159

බලධාරීන් සැදූ පිඹුරුපත් පල රහිතයි

කෝටි ගණනක මුදල් අපතේ

වන ජීවී කලාප හතක අලි මිනිස් ගැටුම් උග්‍රවී තිබේ. පුද්ගල මරණ තිස් හයක්, වන අලි මරණ එකසිය හතලිස් හයක් මේ වන විට අහිමිවී ගොසිනි. ආහාර සහ ජල හිඟය වාසස්ථාන අහිමිවීමෙන් වියරු වැටුණු වන අලින් ගම්මානවලට සහ ගොවි බිම් වලට කඩා වැදීම ඉහළ ගොස් තිබෙන බව වන ජීවී නිලධාරීහු පවසති.

දකුණ පහතරට වියළි කලාපය, මැදරට වයඹ, උඩරට නැගෙනහිර උතුර වන ජීවී කලාපවලට කඩා වැදී ජීවිත බිලි ගනිමින් දේපළ මෙන්ම වගාවන් වනසා දමමින් වන අලින්ගේ ක්‍රියා මිනිස් ජීවිත වලට මහත් තර්ජනයක් එල්ලකර තිබේ. වසර ගණනාවක සිට පවතින අලි මිනිස් ගැටුම් අවම කිරීමට බලධාරීන් අවස්ථා ගණනාවකදීම එක්ව සකස් කළ සියලුම පිඹුරුපත් පල රහිතවී තිබෙන බව වන ජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති එම්.අයි.ඩබ්. පීරිස් මහතා පැවැසීය. මහජන මුදල් කෝටි ගණනක් වියදම් කර අලි මිනිස් ගැටුම් අවම කිරීමට පැවැත් වූ සාකච්ජා සම්මන්ත්‍රණ අසාර්ථක බව ඒ මහතා පෙන්වා දුන්නේය. අගල් කැපීම, විදුලි වැටවල් ඉදි කිරීම සහ අලි වෙඩි පුපුරුවා වන අලින් පලවා හැරීම සියයට සියයක්ම සාර්ථක නොවන ක්‍රම බව හෙතෙම පැවැසීය.

සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 14ක් වන ජීවී කලාපයට අයත් වේ. අලි මිනිස් ගැටුම් අවම කිරීමට නිලධාරීන්ගේ හිඟය උග්‍රවී තිබෙන බවත් වන සත්ව නියාමක නිලධාරීන්ගේ හිඟය උග්‍ර බවත් ඔහු පැවැසීය. අනුමත කාර්ය මණ්ඩලය සියයට 51ක් බදවා ගැනීමට මෙතෙක් බලධාරීන් පියවර ගෙන නැතැයිද ඔහු චෝදනා කළේය. අලි වෙඩි සැපයුම අඩාලවී තිබෙන අතර අලි මෙහෙයුම් සඳහා වාහනවලට ප්‍රමාණවත් ඉන්ධන නොලැබෙන බවද ඔහු පෙන්වා දුන්නේය. කාර්ය මණ්ඩල හිඟයෙන් රටපුරා වන ජීවී කලාප ආශ්‍රිත අලි මිනිස් ගැටුම්, වන අපරාධ, වන සත්ව දඩයම, වන ජීවී සහ වෘක්ෂලතා මංකොල්ල වැටලීම්ද අඩාලවී තිබෙන බව පීරිස් මහතා පැවැසීය.

තද වියළි කාල ගුණයක් පවතින ඉදිරි මාස කීපයේදී අලි මිනිස් ගැටුම් තවදුරටත් වර්ධනය වනු ඇති බවත් එහිදී සිදුවන අලි මිනිස් ජීවිත අහිමිවීම් වන අපරාධ, සත්ව දඩයම්, වෘක්ෂතලා සහ ජාන කොල්ලයන් පිළිබඳ වගකීම් සම්පූර්ණයෙන්ම බලධාරීන් භාරගතයුතු බවද හෙතෙම පැවැසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment