තාච්චි සීයේ ටෙන්ඩරයෙන් කොමිස් ගහන්න හිතන්නවත් එපා

770

අරය අඩි 10 ක් වූද විෂ්කම්භය අඩි 20 ක් වූද ඝනකම් ලෝහයෙන් සාදන ලද තාච්චි 100 ක් අපායට අවශ්‍යව තිබේ. ඊට අමතරව පාවිච්චි කළ එන්ජින් ඔයිල් ලීටර් ලක්ෂයක් පමණද මිලට ගැනීමට අපායට අවශ්‍යය. මේ සඳහා තවමත් ටෙන්ඩර් කෝල් කර නැත. මීටත් අමතරව අඩි 100 ක් දිග අඩි 10 ක් පළල පොල් කටු අඟුරු Barbecue Machine අපායට අත්‍යවශ්‍ය වී තිබේ. මේ සඳහා ද ටෙන්ඩර් කැඳවීම යම රජතුමාගේ අපේක්ෂාවය. මේ හදිසියේ යකඩ තාච්චි සහ Barbecue Machine අපායට අවශ්‍ය ඇයි? අප ජීවත්වන මිනිස් ලෝකය තුළ ළමයින් අපහරණය කිරීම දිනෙන් දිනම වැඩිවන බව දැනගන්නට තිබේ. පසුගියදා ASSOCIATED PRESS ප්‍රවෘත්ති ආයතනය වාර්තා කළ පරිදි පසුගිය අවුරුදු 70 තුළ ප්‍රංශයේ කිසියම් බලගතු ආගමික නිකායකට අයත් පූජකයන් 3000 ක් විසින් වරින් වර අවුරුදු 15 ට අඩු ළමයින් තුන් ලක්ෂ තිස්තුන්දාහක් ලිංගික අපහරණයට ලක්කර ඇත. මේ පිළිබඳ පිටු 2500 ක වාර්තාවක් පිටවී තිබේ. අප අනුමාන කරන පරිදි යම රජතුමා යකඩ තාච්චි සහ පරණ එන්ජින් ඔයිල් ටෙන්ඩර් ක්‍රමයට order කරන්නේ දැනට අපාගතව සිටින පෙරකී පව්කාරයන් පණ පිටින් බදිනු ලැබීම සඳහාය. එසේ නම් Barbecue මැෂිම මොකටද? ඊට උත්තරය මෙසේය. තාච්චි 100 සහ එන්ජින් ඔයිල් ලීටර් ලක්ෂය ටෙන්ඩර් කරන විට විශාල පිරිසක් එම ටෙන්ඩරයෙන් ගසාකනවා ඇත. Barbecue මැෂිම ඕඩර් කර ඇත්තේ එසේ ගසා කෑ අය Barbecue කිරීම පිණිසය. ඒ අතර Barbecue Machine ටෙන්ඩරයෙන් ගසාකන අයට යම රජතුමා කුමක් කරනවා ඇත්ද? ඇනවුම් කරන්නේ තනි මෙෂිමක් බැවින් දෙතුන් දෙනකුට වඩා එයින් ගසාකන්නේ නැත. ඒ අය අපායට ගෙන්වාගෙන කටු ඉඹුලේ නග්ගවා එම ගහෙන් පොල් කඩාදෙන ලෙස බල කරමින් ඔවුන්ට වධ දෙනවා ඇත. කටු ඉඹුලේ කොහෙද පොල්?

ලියාපදිංචි නොකරන ලද නීති විරෝධී නේවාසිකාගාරයක සිටින බාල වයස්කාර දැරියන් 5 කු දූෂණය කළේ යැයි කියන පාස්ටර් කෙනකු ජනවාරි මස පළවෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කර තිබේ. එම දැරියෝ පවුල් තුනක සොයුරියෝ වෙති. ඔවුන්ගේ වයස අවුරුදු 11 සහ 18 අතරය. ස්ත්‍රී දූෂක පාස්ටර් නේවාසිකාගාරයට සම්බන්ධ කෙනකු බවත් ඔහු විසින් තමන් දූෂණය කරනු ලබන බව දැරියන් ඔවුන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිනියට පවසා ඇති බවත් දැනගන්නට තිබේ. මේ සම්බන්ධයෙන් කරන ලද දැනුම්දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ කිරුලපන පොලිසිය සැකකාර පාස්ටර් අත්අඩංගුවට ගෙන තිබේ. නේවාසිකාගාරය තිබෙන්නේ දෙහිවල දේවස්ථානයකට අනුබද්ධවය. වල් වනචර පාස්ටර් දැරියන්ට බ්ලූ ෆිල්ම් ද පෙන්වා ඇත.

විවිධ ආගම්වලට අයත් පූජකයන් විසින් ස්ත්‍රීන් දූෂණය කිරීම දැන් එළිපිටම සිදුවන සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ. ව්‍යාජ චීවරධාරීන් හෙවත් භික්ෂු ප්‍රතිරූපකයන්, සියලු පව් ලෝගුවෙන් වසාගෙන සිටින පූජක ප්‍රතිරූපකයන් යනාදීහු නිරන්තරයෙන් මේ ක්‍රියාවල නිරත වෙති. මෙහිදී දූෂකයාට ගැහැනු පිරිමි මල් පලතුරු යනාදී වශයෙන් භේදයක් නැත. පසුගියදා මද්‍රසා පාසලක සිටි කුඩා දරුවෙක් වැසිකිළියේ එල්ලී දිවි නසා ගත්තේය. එම පාසලේ ප්‍රධාන ලෝගුකාරයා විසින් දරුවන්ට වධදෙන බවත් ඉන් අධික පීඩනයට පත් දරුවා ගෙල වැලලාගෙන මියගිය බවත් දැනගැනීමට තිබේ. ලංකාවේ සියලු පූජනීය ස්ථාන නියාමනයකට ලක්කළ යුතුය. අපේ යෝජනාවට විරුද්ධ වන ඇතැම් සිල්වත් අය රෙදි ඔළුවේ ඔතාගෙන විරෝධය පළකිරීමට ඉඩ තිබේ. අප ඒවාට බිය නැත. ආගම නමැති පාරභෞතික ඒකාධිකාරය යොදාගෙන පුංචි දරුවන් කෙලෙසීම ශරීරයේ ඉතාම සංවේදී තැන්වලට හෙණ වදින අපරාධයකි. හැබැයි මෙතෙක් කල් එවැනි එකෙක් හෙණයක් වැදී මියගිය බව අපට ආරංචි වී නැත. මේ නිසා ස්වාභාවධර්මය කෙරෙහිද අප තුළ කිසියම් නොමනාපයක් හටගෙන තිබේ. හරකාගේ කකුල් කඩා උගේ බෙල්ල කපන එකාට ලබන ආත්මයේදී දඬුවම් ලැබෙන්නේ ඇයි? එයට දඬුවම හරකා මැරූ වහාම සිදුවේ නම් එය කොතරම් සාධාරණද? මේවා ලබන ආත්මයට මාරු විය යුතු පව් නොවේ. මේවාට ෂොට් එක මේ ආත්මයේදීම අපේ ඇස් ඉදිරිපිටදීම ලැබිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment