චීන ජනාධිපති ෂී ජින්පින් හා ශ්‍රී ලංකා අගමැති දිනේෂ් අතර හමුවක්…

1

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ(27 දා) බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී පැවැත්විණි. මේ එම අවස්ථාවයි.

ජාත්‍යන්තර කටයුතුවලදී රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසන මිත්‍රත්වය, සාමය, අන්‍යොන්‍ය ගෞරවය සහ පස්විධ ප්‍රතිපත්ති යටතේ ඉදිරියටත් ක්‍රියාකිරීමට දෙරටම එකඟ වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

ද්විපාර්ශ්වික සබඳතා, රටවල් අතර අන්‍යොන්‍ය ගෞරවය සහ අන්‍යොන්‍ය ඵලදායීත්වය මත පැවැත්විය යුතු බව අවධාරණය කරමින් එම ප්‍රතිපත්තිය අනුව ක්‍රියා කිරීම දෙරටටම හොඳ ආදර්ශයක් සපයන බව මෙහිදී අවධාරණය කෙරුණු බව ද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යෝජනාක්‍රම ඉදිරිපත් කළ වහාම ඊට චීනයේ සහයෝගය ලබාදෙන බවද චීන ජනාධිපතිවරයා මෙහිදී සහතික වූ බවත් එහි සඳහන්ය.

දේශපාලන සහ සමාජ ආර්ථික ප්‍රගතිය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට චීනයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට චීන ජනාධිපතිවරයා පැවසූ බවද එම නිවේදනයේ දැක්වෙයි.

මෙහිදී චීන ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සැම විට ම චීනය පෙනී සිටින බව යැයි ද එම නිවේදනයේ දැක්වෙයි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන්හොන්ග්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක් ව සිටිය හ.

advertistmentadvertistment
advertistmentadvertistment