එළවළු වෙළෙන්දෝ කඹ අදිද්දී – එළවළු මිලේ ජනතාව ගිලේ

458

මිල ඉහළ යෑම ගැන නුවරඑළියේ ගොවියෝ වගකිව යුතුයි
-පෑලියගොඩ වෙළෙඳ සමිතියේ උප සභාපති කියයි
චෝදනා ප්‍රතික්ෂේප කරනවා කැරට් මිල ඉහළටම ගියාට අපට ලැබෙන්නෙ සොච්චමයි

– නුවරඑළිය ගොවි සමිතියේ සභාපති
බදුල්ලේ කැරට්, නයි මිරිස් 2000 නැගලා
මේක මාෆියාවක්ද?- පාරිභෝගිකයෝ අසති

පෑලියගොඩ, නුවරඑළිය ඇතුළු එළවළු වෙළෙඳුන් පාර්ශ්ව කීපයක් එකිනෙකාට චෝදනා කර ගනිමින් එළවළු මිල ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් ඉහළ දැමීම නිසා එළවළු මිල අහස උසට නැගීම පාලනය කරගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ.
මෙම කඹ ඇදිල්ල හේතුවෙන් රටේ පාරිභෝගික ජනතාව එළවළු මිලදී ගත නොහැකිව අන්ත අසරණභාවයට පත්ව සිටිති.

වෙළෙඳුන්ගේ මෙම ගසාකෑම් පිළිබඳව සොයා බැලීමට වහා මැදිහත් වන්නැයි පාරිභෝගික ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ ලොකු කැරට් තොග කිලෝවක් රුපියල් 1800 ත් 2000 ත් අතර ඉතා ඉහළ මිලකටත්, කුඩා කැරට් කිලෝවක් රුපියල් 1000 කටත්, සෙසු එළවළු රැසක්ම රුපියල් 500 න් ඉහළටත් ඊයේ (17 දා) අලෙවි වූ බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග මහතා ‘දිවයින” ට පැවසීය.

ඉතිහාසගත වන තරමට කැරට් ඇතුළු සෙසු එළවළු තොග මෙලෙස ඉහළ යෑමට නුවරඑළිය ගොවීන් සම්පූර්ණයෙන්ම වගකිවයුතු බව ද හෙතෙම කීය.

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ පොළට වෙනෙදා දිනකට පහළොස් දහසකට අධික පාරිභෝගික ජනතාවක් පැමිණෙන බවත්, එහෙත් ඊයේ දිනයේ පාරිභෝගික ජනතාව තුන්සීයකටත් අඩු පිරිසක් පැමිණි බවත් හෙතෙම කියා සිටියේය.

ඒ අනුව ඊයේ දිනයේ කැරට් වලට අමතරව බෝංචි තොග කිලෝවක් රුපියල් 700 ත් 800 ත් අතර මුදලකටත්, මෑකරල් කිලෝවක් රුපියල් 500 කටත්, මාළු මිරිස් කිලෝවක් රුපියල් 800 කටත් අමු මිරිස් කිලෝවක් රුපියල් 700 කටත්,

බීට්රූට් කිලෝවක් රුපියල් 800 කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 500 කටත්, බී ලූනු කිලෝවක් රුපියල් 450 කටත්, අල කිලෝවක් රුපියල් 370 කටත්, පතෝල කිලෝවක් රුපියල් 400 කටත් අලෙවි වූ බව ද උප සභාපතිවරයා සඳහන් කළේය.

කැරට් රුපියල් 2000 දක්වා ඉහළ යෑමට නුවරඑළිය ගොවීන් වගකිවයුතු බවට පෑලියගොඩ මැනිං වෙළෙඳපොළෙන් එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් අපි ඊයේ නුවරඑළිය ගොවි සමිතියේ සභාපති රුවන් සම්පත් ජයසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු.

“කැරට් තොග කිලෝවක් රුපියල් 2000 ක් දක්වා ඉහළ යෑමට අපි වගකිවයුතු නැහැ. ඒ එල්ල කරන චෝදනා සියල්ලක් අපි ප්‍රතික්ෂේප කරනවා. නුවරඑළිය පැත්තට එක දිගට මාස 4 ක් වැස්ස. සියලු භෝග වගා විනාශ වුණා. මේ තත්ත්වය තුළ නෙළන එළවළු ඵලදාව අඩුවෙලා. බොහොම අඩු එළවළු ප්‍රමාණයක් තමයි පෑලියගොඩට යවන්නේ.

අපිට ඇති වාසියක් නැහැ. කැරට් කිලෝවක් තිබ්බේ රුපියල් 200 ට. ඔය රුපියල් 2000-2200 කට කැරට් ඉහළ ගිහින් කිව්වට අපිට ලැබෙන වාසියක් නැහැ. වාසි ගන්නෙ කව්රුවත්. නුවරඑළියෙ ගොවීන් අන්ත අසරණයි. ඇත්ත දකින්න ඔය හැමෝටම නුවරඑළියට එන්න කියනවා.”

මේ අතර බදුල්ල නගරයේ පොදු වෙළෙඳ සංකීර්ණයේ ද ඊයේ (17 දා) කැරට්, නයි මිරිස් මිල රුපියල් 2000 දක්වා ඉහළ නැග තිබූ බව එම වෙළෙන්දෝ ‘දිවයිනට’ පැවසූහ.

මීට අමතරව අමු මිරිස්, මාළු මිරිස්, වම්බටු යනාදිය රුපියල් 1000 කට අලෙවි වූ බව එම වෙළෙන්දෝ කියා සිටියහ.

එසේම, මාළු මිරිස් හා තිබ්බටු තොග කිලෝවක් රුපියල් 1200 කට අලෙවි වූ බව ද එම වෙළෙන්දෝ කීහ.

එමෙන්ම වම්බටු තොග කිලෝවක් රුපියල් 800 කට ද, බීට් රූට් තොග කිලෝවක් රුපියල් 800 කට ද, ලීක්ස් තොග කිලෝවක් රුපියල් 600 කට ද, එළ බටු තොග කිලෝවක් රුපියල් 600 කට ද, බී ලූනු තොග කිලෝවක් රුපියල්

480 කට ද, පලා මිටියක් රුපියල් 120-120 කට ද, දෙහි තොග කිලෝවක් රුපියල් 400 කට ද, වැටකොළු තොග කිලෝවක් රුපියල් 400 කට ද අලෙවි වූ බව බදුල්ල නාගරික පොදු වෙළෙඳ පොළේ වෙළෙන්දෝ කීහ.

බදුල්ල නාගරික පොදු වෙළෙඳ පොළට පාරිභෝගිකයන් පැමිණීමේ විශාල අඩුවක් දක්නට තිබූ බවත්, පැමිණි පාරිභෝගිකයන් සුළු පිරිස ඉතා අඩු ප්‍රමාණවලින් එළවළු රැගෙන ගිය බවත් වෙළෙන්දෝ සඳහන් කළහ.

මේ අතර හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුළ ඉතිහාසයේ කිසි දිනෙක නොවූ අයුරින් එළවළු මිල ඉහළ යෑමත් සමඟ පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

ඊයේ දිනයේ එම ප්‍රදේශය තුළ කැරට්, බෝංචි, මාළු මිරිස් තොග කිලෝව රුපියල් 1000 ත් 1200 ත් අතර මිලකටත් තක්කාලි කිලෝව රුපියල් 800 ත් 1000 ත් අතර මිලකටත්, මෑකරල් කිලෝව රුපියල් 500 ත් 550 ත් අතර මිලකටත්, කරවිල කිලෝව රුපියල් 900 ත් 950 ත් අතර මිලකටත්, ලීක්ස් කිලෝව රුපියල් 600 ත් 650 ත් අතර මිලකටත්, බණ්ඩක්කා කිලෝව රුපියල් 320 ත් 350 ත් අතර මිලකටත්, පතෝල කිලෝව රුපියල් 500 ත් 550 ත් අතර මිලකටත්, වට්ටක්කා කිලෝව රුපියල් 240 ත් 280 ත් අතර මිලකටත්, ගෝවා කිලෝව රුපියල් 550 ත් 600 අතර මිලකටත්, බීට්රූට් කිලෝව රුපියල් 500 ත් 550 ත් අතර මිලකටත්, පලා මිටියක් රුපියල් 70 ත් 80 ත් අතර මිලකටත් අලෙවි වූ බව වෙළෙන්දෝ ‘දිවයින’ ට පැවසූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, නාලක රත්නායක – නුවරඑළිය, එච්. එම්. සමරකෝන් බණ්ඩාර – බදුල්ල, මනුර සුදත් සෙල්ලහේවා – හැටන් කරුණාරත්න ගමගේ – පොළොන්නරුව

advertistmentadvertistment
advertistmentadvertistment