සිල්හෙට් පිටියේ දස්කම් මත ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ටෙස්ට් පිටියේ ඉදිරියට

210

බංග්ලාදේශයට එරෙහිව සිල්හෙට් ක්‍රීඩාංගණයේදී පසුගිය දා නිමාවූ පළමු ටෙස්ට් තරගයේදී දක්වන ලද දස්කම් මත ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ රැසක් ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට පැමිණ සිටිති.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ඊයේ (27 වැනිදා) යාවත්කාලීන කර තිබූ අතර ඒ අනුව සිල්හෙට් ටෙස්ට් තරගයේදී ඉනිම් දෙකේදීම ශතක රැස් කළ ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරුවන් අතර ස්ථාන 15ක් ඉදිරියට පැමිණෙමින් 14 වැනි ස්ථානයට පත් වී ඇත.

ධනංජයට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 695ක් වන අතර එය ධනංජයගේ ටෙස්ට් දිවියේ ලද ඉහළම ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව ද වේ.

ඔහු සමග එම ටෙස්ට් තරගයේදී ඉනිම් දෙකේදීම ශතක රැස් කළ කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 64 වැනි ස්ථානයට පත්ව ඇත.

ශ්‍රී ලංකා පිතිකරුවන් අතරෙන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේම පසුවන දිමුත් කරුණාරත්න ශ්‍රේණිගත ලකුණු 740ක් සමගින් 7 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.

තවද එම තරගයේදී පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ස්ථාන 6ක් ඉදිරියට පැමිණ 38 වැනි ස්ථානයත්, විශ්ව ප්‍රනාන්දු 50 වැනි ස්ථානයේ සිට 43 වැනි ස්ථානය දක්වාත්, ලහිරු කුමාර 46 වැනි ස්ථානයටත් පත්ව සිටිති.

එම තරගයේදී කඩුලු නොලැබුවද ශ්‍රී ලංකා පන්දු යවන්නත් අතර තවදුරටත් ඉදිරියෙන් පසු වන ප්‍රභාත් ජයසූරිය 8 වැනි ස්ථානයේ පසුවෙයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment