ආර්ථීක අර්බුදයට ආණ්ඩුව අනුගමනය කරන්නේ ප්‍රායෝගික මොඩලයක් – අගමැති දිනේෂ් ගුණවර්ධන

45

ජනපති වැටුණු රට ගොඩගෙන ඉලක්ක කරා යනවා – වජිර අබේවර්ධන (එජාප)

අයිඑම්එෆ් එකෙන් සියල්ල සපුරා ගන්න බෑ: සමස්ත ආර්ථිකයම හැකිලිලා – ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)

ජනපති ගොවියාගේ වී ටික ගන්න ක්‍රමයක් හදා නෑ – රංජිත් මද්දුම බංඩාර (සජබ)

අයිඑම්එෆ් වැඩපිළිවෙළට ජාතික එකඟතාවක් අවශ්‍යයි – ඇමැති බන්දුල ගුණවර්ධන

වත්මන් ජනපති රට ණය උගුලක හිරකිරීමේ ප්‍රතිපත්තියක හිටියා – ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව මොඩලයකට යෑමට ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට හැකි වූ බවද ආණ්ඩුව අනුගමනය කරන්නේ ප්‍රායෝගික මොඩලයක් බවද අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (9 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පැවති විවාදයේ දෙවැනි දින විවාදය ආරම්භ කරමින් අගමැතිවරයා මේ බව කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද පැවසීය.

මේ රටේ ආර්ථික දැවැන්ත කඩා වැටීම ඉදිරියේ තිබුණු තත්ත්වය එතුමාගේ වචනවලින්ම කියනවනම් 2022 පෙබරවාරි මෙරට තිබුණු තත්ත්වය අප කාටත් මතකයි. 2023 පෙබරවාරි වෙද්දී ඊට වඩා යහපත් තත්ත්වයකට මේ රට ගෙන එන්නට අපට පුළුවන් වුණා. මේ පෙබරවාරි වෙද්දි ගිය අවුරුද්දේ පෙබරවාරිවලට වඩා යහපත් මට්ටමකට අප රට පැමිණ තිබෙනවා.

මා විශේෂයෙන් මේ කාරණාවන් සඳහන් කළේ මේ ඉදිරිපත් කරපු කරුණු එසේ නොවන බවට කිසිම පාර්ලිමේන්තුවේ අභියෝගයට ලක් කරනවා කියලා ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්ට කියන්නට බැරි වුණා. ගිය වසරේ උද්ධමනය එතුමාගේ ප්‍රකාශයේ 50.6% යි. අද එය 6.4% දක්වා පහළට වැටිලා තිබෙනවා. ආහාර උද්ධමනය 54.4% යි. අද එය 3.3%ක් දක්වා අඩුවී තිබෙනවා. එදා ඩොලරයක අගය රු. 362යි.

අද රු. 314 යි. අපි මේ යන ගමනේ නිදහසෙන් පසුව ගෙවුණු අවුරුදු 76 තුළම ප්‍රාථමික අය වැය අතිරික්තයක් හැටියට ගන්න ශ්‍රී ලංකාවට හැකි වුණු 6වැනි අවස්ථාව මෙයයි. ඒ වගේම එදිනෙදා ව්‍යාපාරික, පෞද්ගලික ආදී අපි කවුරුත් බැංකු ක්‍රමය හරහා මුහුණ දෙන 2023 දී 28% ක් වූ පොලි අනුපාතය දැන් පහළ වැටී තිබෙනවා. එය 12% ක් අවට අනුපාතයේ අද පවත්වා ගෙන යනවා. මේ ආකාරයේ ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු විශේෂ ප්‍රකාශනයේ මේ තත්ත්වයන් ගැන පැහැදිලිව සැලකිල්ලට ගෙන මේ යන ප්‍රතිපත්තිමය කරුණු, ඒවාගේම වැඩපිළිවෙළට යළි යළිත් සහයෝගය දීමට අපි කැපවී තිබිය යුතුයි කියන එක විශේෂයෙන් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කුමන විවේචනයක් තිබුණත් සඳහන් කරන්නට කැමතියි. සංචාරක ව්‍යාපාරය ඉතා කැපීපෙනෙන ප්‍රගතියකට පත්වුනා. ගරු කතානායකතුමනි, අපේ රටේ කෘෂිකර්මික වර්ධනය 3.9% කින් වැඩි වී තිබෙන බව සියලු සංඛ්‍යාලේඛන පිළිගන්නවා. ඒ ඇයි? ඒ සඳහා දෙන ලද සහයෝගය හා මඟ පෙන්වීමයි. ඒ සඳහා දෙන ලද විවිධ සහනයන් හා සහයෝගයන් නිසා ගොවි ජනතාවට පුළුවන් වුණා මේ බලවත් වර්ධනය ඉටු කරන්න. ඒවගේම සංචාරක සේවය 12% වර්ධනයකට පරිවර්තනය කරලා තිබෙනවා.

කරුණු දෙක නිසා ආර්ථිකයේ යළි පණ ගැන්වීමේ ක්‍රියාමාර්ගයට දැවැන්ත නිෂ්පාදන ශක්තියක් ලබා දී තිබෙනවා. කෘෂිකර්මාන්තයට ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කරුණු අනුව කෘෂිකර්මය නිෂ්පාදනය විශේෂයෙන් සහල් ගොවිතැනේ දෙගුණයක් කිරීමේ ඉලක්කයට ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා.

අස්වැසුම අපට බොහෝ සේ විවේචනයට ලක් කරනවා. අඩු ආදායම් ලබන්නන්ගේ දුක වේදනාව අමතක කරලා කටයුතු කරනවා කියලා. අස්වැසුමට වැඩි කිරීමෙන් ලබාදෙන සහනය විශාල ශක්තියක් වී තිබෙනවා.

දුප්පත්කම මේ හැම රටකම පවතිනවා. දුප්පත්කම තුරන් වුනු රටවල් අතළොස්සක් පමණයි ලෝකයේ තවම තියෙන්නේ. නමුත් දුප්පත්කමෙන් අතිරේඛව විවිධ දේවල්වලට සෞඛ්‍ය, නිරෝගී භාවයට තිබෙන බාධාවන්වලට ආධාර දෙන වැඩපිළිවෙළවල් ලෝකයේ හැම රටකම ඒ වෙනම කණ්ඩායමක් ලෙස තෝරාගෙන ඉටු කිරීමට බැඳී සිටිනවා. ඒ වැඩපිළිවෙළවල් කිසිවක් අපි නවතා නැහැ.

ආර්ථිකය අද දළ වර්ධනයකට පරිවර්තනය කරන්න පුළුවන් බව ඉතාමත් පැහැදිලිව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඉදිරියේ ප්‍රකාශ කළා. එය දැවැන්ත විශ්වාසයක්. ආයෝජකයන් ගෙන්වා ගැනීමට අවශ්‍යතාවයක්. ආයෝජකයන් ගෙන්වා ගැනීමට අවශ්‍යතාවය මත අපේ ආර්ථිකයේ ස්ථාවරභාවය පවත්වා ගැනීමට හා ශක්තිමත් කිරීමට හා වර්ධනය කර ගැනීමට වෙළඳපොළට පුළුවන්වේය කියන විශ්වාසය අපි ඇති කරගෙන තිබෙනවා.

අපි එසේ යන්නට බැරි නම් අපේ රට පසුගාමී රටක් ලෙස මේ ආර්ථික වෙනස්කම්වලට අසල්වැසි රටවල් සියල්ල යොමු වෙනකොට පරිවර්තනය වෙමින් පවතිනවා. එය එසේ ජයගත හැකි ආනාගතයක් යැයි අපි විශ්වාස කරනවා. මම අපේ අමාත්‍යතුමාලව කිසිවෙකු විවේචනයට හෝ දෙපාර්තමේන්තුවක් විවේචනයට ලක් කරන්නේ නෑ. නමුත් අපි වෙනස් විය යුතුයි. නව තාක්ෂණය ගෙනා ආ යුතුමයි. රාජ්‍ය සේවයට ඒ අවශ්‍ය වූ තොරතුරු තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණ ජයග්‍රහණ ගෙන ආ යුතුමයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ) :

මේ රට දියුණු කිරීමට නම් සීග්‍ර ආර්ථික වර්ධනයක් කරා රට ගෙනයායුතුයි. ඊට සියල්ලන්ම අන්තර්ගත කරගත යුතුයි. විවෘත ආර්ථිකය මගින් මේ තත්ත්වය ළඟාකරගත හැකියි.

සාධාරණ සමාජ ආරක්ෂණ පද්ධතියක් ඇති කිරීම ආර්ථික දියුණුවට ඉතා වැදගත්. යම් සීමාවක් තුළ සුබසාධන රාජ්‍යයක් නිර්මාණය වෙනවා. යුරෝපයේ බොහෝ රටවල සුබසාධන රාජ්‍ය සීමාවන් පවතිනවා.

මේ වනවිට සමස්ත ආර්ථිකයම හැකිලී පවතිනවා. මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් සියලු දේ සපුරා ගන්න බැහැ. එය යම් අත්වැලක් වුවත් ගෝලීය නිෂ්පාදනය දිරිමත් කරන ප්‍රතිපත්ති දිරිමත් කළ යුතුයි. ආනයන ආදේශන හා අපනයන දිරිමත් කළ යුතුයි.

ගෝලීය වෙලෙඳ පොළ තරගයට වහා ඉඩ සැලසිය යුතුයි. රට වටේ ඇති තාප්ප වෙනුවට රටින් පිටට පාලම් ඇතිකර ගෝලීය වෙළෙඳ පොළට ඉඩ සැලසිය යුතුයි. සාමුහික සංවර්ධනය අවශ්‍යයි.

සහනාධාර ලැබිය යුතු පුද්ගලයන්ටම පමණක් ලබාදීම ප්‍රතිපත්තිය විය යුතුයි. හැමෝටම වර්ධනයේ දොර විවෘත විය යුතුයි. ඉන් පිටුපස සිටින අයට රජයේ සහය හිමිවිය යුතුයි.

ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන :

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම සමහරු කියනවා ඇවිත් වෙනස් කරනවා කියලා. ආණ්ඩුවක් ඇතිකරගත් ගිවිසුමක් කතා කරලා වෙනස් කරන්න පුළුවන්ද?

අපි කවුරු ආණ්ඩු ගත්තත් ඩොලර් බිලියන 39ක් වෙනත් රටවලට ගෙවිය යුතුයි. ඉදිරි අවුරුදු 5දී ඉන් සියයට 37ක් ගෙවනවා. ඉන්පස්සේ වැඩි ප්‍රමාණය ගෙවනවා. 2050 දක්වා ගෙවීමට රජය බැඳිලා ඉන්නවා. එය කාටවත් වෙනස් කරන්න බැහැ. මේ බොරු තවදුරටත් කියන්න එපා. සත්‍ය අවබෝධ කරනොගෙන කවුරු ආණ්ඩු භාර ගත්තත් සුමාන 2යි ආණ්ඩු කරන්න පුළුවන්. කඩා වැටෙනවා. මේ වැඩපිළිවෙළ ගෙනයෑමට ජාතික එකඟතාවක් ඇතිකරගත යුතුයි. ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුමක් නෑ.

පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බංඩාර (සජබ) :

1956 වෙද්දී මේ රට සත පහක්වත් ණය නෑ. ජේ. ආර්. – ප්‍රේමදාස ආණ්ඩු ගත්ත ණය නිෂ්පාදන ක්‍රියාවලිය නැංවීමටයි යෙදවූයේ. 94න් පස්සේ ගත ණය තමයි කිසිම ප්‍රයෝජනයක් නැති දේට යොදා ගත්තේ.

ගොවියාට ගොවිබිම නැති කළේ මේ ආණ්ඩුවේ වැරැදි තීන්දුයි. කන්න 4ක් වගා කළේ නෑ. දැන් ආණ්ඩුව වැරැද්ද පිළිගන්නවා. දැන් ගොයම් කැපෙනවා. ඒත් හාල් ටොන් 50,000ක් ගෙන්වන්න තීන්දු අරන්. තවම ගොවියාගේ වී ටික ගන්න ක්‍රමයක් හදලා නෑ. වී මිල බහිනවා. කෘෂිකර්මය නවීකරණය කරනවා කියලා ජනාධිපති කියනවා. ඊට පෙර ගොවියා ජීවත් කර ඉන්න. මේ ආණ්ඩුව ගොවියා නොව වී මෝල් හිමියා ශක්තිමත් කරනවා.

විදුලිබල මණ්ඩලය බිලියන 62ක් ලාභ ලබනවා. තාම එහි සහනය ජනතාවට දුන්නේ නෑ. අද අධික වියදම් නිසා කර්මාන්ත වැහිලා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියයට 80ක් වැහිලා.

පත් කළ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ):

ජනාධිපතිගේ ක්‍රියාකලාපය නිසා පාර්ලිමේන්තු ක්‍රමයත් ප්‍රජාතන්ත්‍රවාදයත් බලවත් තර්ජනයකට ලක්වෙලා. ජනාධිපති ක්‍රමය තුළ ඇති බලය භාවිතා කරමින් පාර්ලිමේන්තු ක්‍රමයත් අධිකරණයත් තම බලය ගොඩනගා ගැනීමට යොදා ගන්නවා. මේ වෙලාවේ ව්‍යවස්ථා අර්බුදයක් ඇති කර පාර්ලිමේන්තුවෙන් හා අධිකරණයෙන් ඊට අවශ්‍ය සහය ගොඩනගා ගන්නවා.

මෙය දැනුවත්ව හා සැලසුම් සහගතව කරන්නේ. ඉදිරියේ දී ව්‍යවස්ථා අර්බුදයකටත් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වලවීමේ දිසාවකටත් තල්ලු වෙනවා. මෙය ඉතා භයානක තත්ත්වයක්.

ජනාධිපති කළේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොවෙයි. ඔහුගේ දේශපාලන මැදිහත්වීමක් කළේ. රටට 2048 වෙනතුරු බලයේ සිටිය යුතුයි කියන එකත් ඊට පාර්ලිමේන්තුවත් ව්‍යවස්ථා සභාවත් ඔහුට අනුගත වියයුතුයි කියන කතාව කළේ.

ජනාධිපති 77 සිට දේශපාලනය කරලා විටින් විට රට පාලනය කළා. මේ කාලය තුළ තම මිත්‍ර කණ්ඩායම්වලට විශේෂ වරප්‍රසාද දුන්නා. ඔහුගේ බලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදු කළා. ප්‍රජාතන්ත්‍ර විරෝධී අයෙක්. ජාතිවාදී වැපිරීම්කළා. ජාත්‍යන්තරය තුළ රට දුර්වල කළා. රට ජාත්‍යන්තරව අවදානම් තැනකට තල්ලු කළා. අද රට කඩා වැටීම නියෝජනය කළ අයෙක්. ආර්ථිකය දුර්වල කරන්න විශාල ලෙස දායක වුණා. මේ රට ණය උගුලක හිරකිරීමේ ප්‍රතිපත්තියක හිටියා. එවැනි අයෙක් රට අලුත් මාවතකට ගෙනයාවි කියාජනතාව කිසිවිටෙකත් විශ්වාස කරන්නේ නෑ. තවදුරටත් ජනතාව ඉල්ලන වෙනස ඔහුගෙන් ඉටු වන්නේ නෑ.

රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය :

රටට හරි ප්‍රතිපත්ති මාලාවක් ගෙනා යුතුයි. රේගුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම් නිවැරදිව කරගන්න සියලු පක්‍ෂ එක්විය යුතුයි.

ලංකා ඉතිහාසයේ දී කැබිනට් ඇමැතිවරයෙක් අත්අඩංගුවට ගත්තා. එහෙම වුනාමත් බනිනවා. ආණ්ඩුව නීතියට ඉඩදී තිබෙනවා. ආර්ථිකය ගොඩනගන්නසමාජ වෛර වපුරා කරන්න බැහැ. සියලුදෙනාගේ සහය අවශ්‍යයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන :

ජනාධිපතිගේ කතාවේ නැති කොටස් අපිට දුන්න මුද්‍රිත කොටසේ තියෙනවා. ජනාධිපති කියපු කතාවද නැතිනම් මන්ත්‍රීවරුන්ට බෙදපු කතාවද අපි පිළිගත යුත්තේ.

අද ගොවි ජනතාව ඉතා අසරණ වෙලා. අලි – මිනිස්ගැටුම් පොළොන්නරුවේ ප්‍රබලව සිදුවෙනවා. වනජීවි දෙපාර්තමේන්තුව නිශ්ශබ්දයි. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුයි. සමහර ප්‍රදේශවල ජනතාව ගම්හැර ගිහින්.

මේ රටේ ආදායම් විෂමතාව හැකි තරම් අඩු කළ යුතුයි. එය කරන්න බැරි ඇයි? මේ ගැන රජයේ අදහසක් නෑ. ආදායම් විෂමතාව වැඩි නිසා බඩගින්නේ ඉන්න ප්‍රමාණය වැඩිවෙනවා.

දූෂණ විරෝධය ගැන කතාකිරීමේ දී මහ බැංකු කොල්ලයේ පරීක්‍ෂණ අතරමග නතර වෙලා. කොල්ලයට සම්බන්ධ වූවන් නිදහස් කරන්න හේතුව කුමක්ද? ජනතාවට උහුලා ගන්න බැරි තරමට ආර්ථික අර්බුදය උග්‍රයි.

පත් කළ මන්ත්‍රී වජිර අබේවර්ධන (එජාප) :

වසර ගණනාවක් පාලනය කළ පාලනයට වඩා වසර එකහමාරකදී වැටුණු රට ගොඩගෙන ඉලක්ක කරා යන තත්ත්වයකට රට පත්කිරීමට ජනපති ක්‍රියාකර තිබෙනවා.

මේ අර්බුදයකට වෙනත් කිසිම විකල්පයක් නෑ. එසේ තිබියදී මේ තත්ත්වය ජනතාවට බොරු කියා කඩා දමනවා නම් ඊට ඔවුන් වගකිව යුතුයි. වසර 75කට ආසන්න කාලයක් අසාර්ථක පාලනයක් සිදුවුණු බව කියනවා. ඊට හැමෝම, ජවිපෙ ඇතුළුව වගකිව යුතු වෙනවා. මේ යන පාර කඩාකප්පල් කරන්න එපා. මෙයට විකල්ප තියෙනවානම් කියන්න. සියලු දෙනා රට ගැන සිතා කටයුතු කළ යුතුයි. තනතුරු ගැන නොසිතාක්‍රියා කරන්න ජනතාවට බොරු ප්‍රකාශ කරන්න එපා.

පාර්ලිමේන්තුව ලබන 20 දා පෙරවරු 9.30ට රැස්වීමට නියමිතය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment