මැද්දෙගොඩ මුදලාලිගේ පවුම් 12ක රන් මාලය කොල්ල කෑ සැකකරුවෝ සීසීටීවී 145කින් බලා කොටුකර ගැනෙති

101

රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් ගණේමුල්ල පොකුණහංදියේ මැද්දෙගොඩ හාර්ඩ්වෙයාර් ආයතනයකට භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් දමාගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනකු භාණ්ඩ කීපයක් සඳහන් කළ කොළකැබැල්ලක් ව්‍යාපාරිකයාට දී ඔහු එම කාර්යයට අවධානය යොමුකරමින් සිටියදී ක්ෂණයකින් ඔහු වෙතට පැන බිම පෙරලාගෙන පහරදී ගෙල පැළඳ සිටි දෙකෝටි හතලිස්, දහසක් වටිනා පවුම් 12ක් බර රන් මාලය කඩා ගනිමින් ඔවුන් පැමිණි ස්කූටි යතුරුපැදියෙන්ම පලාගොස් ඇත.

විශ්‍රාමික පොලිස් සැරයන්වරයකු වන ව්‍යාපාරිකයා රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් පොකුණ හංදියේ මැද්දෙගොඩ ප්‍රදේශයේ මෙම ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයට සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කරමින් එම ස්ථානයේ සිට ආරක්ෂිත කැමරා එකසිය හතළිස් පහක් පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් හඳුනාගැනීමෙන් පසු ඔවුන් පදිංචි ගණේමුල්ල කඩවත ආසන්න ප්‍රදේශවලදී 8 වැනිදා දවස පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකින් කොල්ලකෑමට පැමිණි යතුරුපැදිය ද සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 22 – 39 කාණ්ඩවල පසුව සැකකරුවන් තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව ද ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 200ක් පොලිස් භාරයට ගත් බව ද පොලිස් වාර්තාවල සඳහන්ව ඇත.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් අනාවරණය කර ගත් තොරතුරු අනුව පවුම් 10ක් වටිනා රන් මාලය පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස් කර රුපියල් එකොළොස් ලක්ෂ විසිදෙදාහක් ලබාගෙන තිබිය දී එය පොලිස් භාරයට ගෙන ඇත. කොල්ලය සිදුකළ දිනම රන් පෙන්ඩනය රාජ්‍ය බැංකුවක උකස් කර රුපියල් එක්ලක්ෂ තිස්හය දහසක් ලබාගෙන ඇති අතර එය නිදහස් කර ගැනීමට අධිකරණ නියෝග ලබා ගැනීමට පියවර ගෙන ඇත.

මෙලෙස ලබා ගත් මුදලින් රුපියල් ලක්ෂ හතක් වැය කරමින් එක් සැකකරුවකුගේ සහෝදරියකගේ මල්වර උත්සවයක් පවත්වා ඇති අතර රුපියල් දෙලක්ෂ හැටපන්දහසක මුදලින් සීටී 100 වර්ගයේ යතුරුපැදියක් මිලට ගෙන තිබියදී එයද නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගෙන ඇත. ඉතිරි මුදලින් සැකකරුවන් එක්ව මත්කුඩු භාවිතා කළ බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

සැකකරුවන් ඊයේ (9 වැනිදා) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

රාගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතාගේ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් සුභාෂණ මහතාගේ උපදෙස් සහ සහභාගිත්වයෙන් උප පොලිස් පරීක්ෂක අබේරත්න, පොලිස් සැරයන් (27096) උපනන්ද, පොලිස් කොස්තාපල්වරුන් වන (78997) පෙරේරා, (79574) සඳුන්, (90446) අනුරුද්ධ, (98003) රණතුංග, (97984) සේනාධීර, (102059) ඉෂාර, (103755) රිදීවිට යන නිලධාරීන් එක්ව මෙම සැකකරුවන් සහ භාණ්ඩ පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිසිය පැවසීය.

කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment