ව්‍යාපාරයට වූ පාඩුවට රාජපක්‍ෂලාගෙන් වන්දි ඉල්ලා කාලිංගගෙන් එන්තරවාසි

612

2019 වසරේ සිට 2022 වසර දක්වා වූ කාලය අතරතුරදී නිසි මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යෑමට අපොහොසත්වීම නිසා සිය ව්‍යාපාරයට සිදුවූ හානියට රුපියල් මිලියන 50ක වන්දි ගෙවන ලෙස දන්වා ව්‍යාපාරිකයකු වන කාලිංග සිල්වා මහතා හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හා හිටපු මහ බැංකු අධිපති අජිත් නවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට හා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ට එන්තරවාසි යවා තිබේ.

සිවිල්ටාර් නීතිඥ උපදේශක සමාගමේ නීතිඥ ප්‍රමෝද් පොල්පිටිය මහතා මගින් එම එන්තරවාසි යවා ඇත. දින 14ක් ඇතුළත එම වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් නඩු පවරා එම වන්දි මුදල අයකර ගැනීම සඳහා පියවරගන්නා බවත් එමගින් දන්වා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ වනවිටත් නිකුත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් වූ තීන්දු ප්‍රකාශය අනුව රටේ ආර්ථික පරිහානියට මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පෙරකී පිරිස වගකිව යුතු බවට නිගමනය කර ඇති බැවින් එකී කාලසීමාව තුළදී තමන්ගේ ව්‍යාපාර කඩාවැටීමෙන් සිදුවූ හානියට එකී වන්දි මුදල අයකර ගැනීමට තීරණය කළ බවද පන්නිපිටිය ලියනගේ මාවතේ පදිංචි කාලිංග සිල්වා මහතා එම එන්තරවාසි මගින් පෙන්වාදී තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment