වීසා නිකුත් කිරීම වීඑෆ්එස් ග්ලෝබල්ට පැවරීම සියලු දෙනාගේ එකඟතාවෙන් සිදුකළ දෙයක්- ඇමැති ටිරාන් අලස් කියයි

83

මෙරටට එන විදේශිකයන්ට වීසා ලබාදීම සඳහා වීඑෆ්එස් ග්ලෝබල් ආයතනය තෝරා ගත්තේ කැබිනට් අනුමැතිය සහ පාර්ලිමේන්තු අනුමැතිය ද ඇතිව බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ද එකඟතාව පළවූ බවත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය.

මේ නව ක්‍රමය යටතේ ද මෙරටට එන විදේශ සංචාරකයන්ට වීසා ලබාදෙන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් බවත් වීසා ලබාදීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට එම වීඑෆ්එස් සමාගමට නොහැකි බවද ටිරාන් අලස් ඇමැතිවරයා කියා සිටියේය.

මේ නව ක්‍රමවේදයෙන් රටට කිසිම අවාසියක් නැති බවත් රටට කිසිම වියදමක් නැතිව නව තාක්ෂණය ද සමඟ නව වීසා කාණ්ඩ 17ක් ක්‍රියාත්මක කිරීමට මේ හරහා පහසුකම් සැලසෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ වීඑෆ්එස් ආයතනය රටවල් 151ක සේවා සපයා ලබාගෙන ඇති පළපුරුදු පදනමක් ඇති ආයතනයක් වීම ඇතුළු හේතු ගණනාවක් නිසාත් නව තාක්ෂණයට යායුතු නිසා එම සමාගමේ යෝජනාවත් සලකා බලා ඒ සඳහා කමිටුවක් මඟින් අධ්‍යයනය කර වාර්තාවක් ද ලබාගෙන මේ ආයතනය තෝරා ගත් බවත් මේ සඳහා ඇමැති මණ්ඩලය හමුවට දෙවරක් පත්‍රිකා ඉදිරිපත් කළ බවත් ඇමැති අලස් මහතා මෙම මාධ්‍ය හමුවේදී අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

වීසා ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා වීඑෆ්එස් සමාගම ඇමෙරිකානු ඩොලර් 18.5ක සේවා ගාස්තුවක් අය කරන බවත් මෙම සේවා සැපයීම වෙනුවෙන් එම ආයතනය විසින් අය කරන සේවා ගාස්තුව අනෙක් බොහෝ රටවලට සාපේක්ෂව අඩු අගයක් බවත් ඇමැතිවරයා කියා සිටියේය.

මෙම වීසා ක්‍රමය ඉකුත් අප්‍රේල් 17 දින සිට ක්‍රියාත්මක වූ බවත් එහෙත් එදින සිට මේ දක්වා විදෙස් සංචාරක පැමිණීම්වල අඩුවීමක් සිදුව නැති බව තමා කරුණු සොයා බැලීමේදී නිරීක්ෂණය වූ බවද ඇමැතිවරයා කියා සිටියේය.

නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේදී දින 30 වීසා කාණ්ඩය පද්ධතියට ඇතුළත් නොවීම අපේ පැත්තෙන් සිදුවූ අඩුපාඩුවක් බව පිළිගන්නා බවත් එම දින 30 වීසා කාණ්ඩයද අද (07දා) සිට නැවත පද්ධතියට ඇතුළත් වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මේ සිද්ධිය මතු වූයේ පසුගියදා කටුනායක ගුවන්තොටුපළේදී තරුණයකු කලහකාරී ලෙස හැසිරීමේ වීඩියෝවක් නිසා බවත් එම තරුණයාට එරෙහිව අනිවාර්යයෙන්ම පියවරක් ගන්නා බවත් මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැති ටිරාන් අලස් මහතා තවදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක සහ ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය යන මහත්වරු ද කතා කළහ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment