දැහැමි ධනය සහ නිවැරැදි දිවිය

1472

‘‘භුත්තා භෝගා භතා භච්චා විනිණ්ණා ආපදා සු මෙ
උධග්ගා දක්ඛණා දින්නා අථෝ පඤ්ච බලී කතා
උපට්ඨිතා සීලවන්තෝ සඤ්ඤතා බ‍්‍රහ්මචාරයෝ’’

සසර දුකින් පෙළෙන සියලූ ලෝසතුන් කෙරෙහි අපමණ මහා කරුණාවෙන් යුතුව ධර්මය දේශනා කොට වදාළ අප අමාමෑණී බුදු පියාණන් වහන්සේ පුද්ගලයාගේ දෙලොව දිවි මග ආලෝකමත් කර ගැනීමෙහිලා හැමවිට මග පෙන්වා වදාළ ආදර්ශමත් මහා ශාස්තෘවරයෙකි. ඒ අනුව අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයට අයත් ‘පඤ්චභෝගාදී’ සූත‍්‍ර දේශනාව තුළ පුද්ගලයා ලද සම්පත් වලින් ගතයුතු ප‍්‍රයෝජන පිළිබඳ ඉතා කදිමට පෙන්වා දී ඇත.

තථාගත බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් මහා විහාරයේ වැඩ වසන සමයෙහි දිනක් අනේපිඬු සිටුතුමාට ධන පරිභෝජනය හා එමගින් දිවිය පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබඳව මෙන්ම ඉටුකළ යුතු යුතුකම්ද මනාව පෙන්වා වදාළහ. ධනය ඉපයීමේදී මූලික කරුණ වනුයේ දැඩි උත්සාහයෙන් හා වීර්යයෙන් දහදිය වගුරුවා උපයාගත යුතු අතර එකී ධනය තුළින් තමාද සැප විඳිය යුතුය. තමා සැප විඳින්නා සේ මව්පිය, අඹු දරුවන්, දැසි දසුන් ආදිය පෝෂණය කිරීම මෙන්ම ඥාති මිත‍්‍රාදීන්ට සංග‍්‍රහ කිරීමද ඉතා වැදගත් බව බුදුරදුන් පෙන්වා දෙන අතර ගින්න, ජලය, සොරු, රජු ආදී උපද්‍රව පැමිණි කල ඒවායෙන් මිදීමට නම් ධාර්මික ධනයෙන් ප‍්‍රයෝජනයක් ගෙන පැමිණි උවදුරු දුරු කළ යුතු බවත් පෙන්වා වදාළහ. සිටුතුමාට මෙකී කරුණු දේශනා කිරීමේදී දැහැමි ධනයෙන් තමා සතුටුවීම හා අනුන් සතුටු කිරීමද සිදුකරන්නා සේ ‘බලි’ හෙවත් යුතුකම් 05 ක් පඤ්චභෝගාදී සූත‍්‍ර දේශනාව තුළ උගන්වනු ලබයි. ඒවා නම්,

අතිථි බලි – ආගන්තුකයන්ට සැලකීම
ඥාති බලි – ඥාතීන්ට සැලකීම
රාජ බලි – රජයට අය බදු ගෙවීම
දේවතා බලි – තමාගේ ඉටුදෙවියන්ට පුද පූජා කිරීම
පුබ්බපේත බලි – මියගිය ඥාතීන්ට පිං දීම

ඉහත සඳහන් මෙම යුතුකම් ධාර්මික ධනයක් උපයා ගැනීම තුළ පුද්ගලයා සිදුකරන බව බුද්ධ දේශනාව මගින් පැහැදිලිව පෙන්වා වදාරා ඇත. මෙකී කරුණු පෙන්වා දීම තුළ අනේපිඬු සිටුවරයා දැහැමින් ධනය උපයන්නා සේ තමාද ඒවා පරිහරණය කරමින් බොහෝ යුතුකම් ඉටුකරන බව ප‍්‍රකාශ කර සිටියේය. ඉහත ගාථාවෙන් කියැවෙන්නේ ද එම ප‍්‍රකාශයයි. බුදුරදුන් දැහැමි ධනය ඉපයීම මෙන්ම ඒවා පරිහරණය කරගත යුතු ආකාරය විවිධ අංශ ඔස්සේ පෙන්වා දෙන අතර ධනෝපාර්ජනය හා ධන විස්සජ්ජනය ලෙස හඳුන්වමින් අධාර්මික කි‍්‍රයාවන් මගින් වෙන්වී පුද්ගලයා හැම විටම ධනය උපයා ගත යුතු බව ධර්මයෙහි පෙන්වා දෙනු ලබයි. දිනෙන් දින අධාර්මික වෙමින් යන නූතනයට මෙම ඉගැන්වීම ඉතා අගනා කාලෝචිත වූවකි. මුදලම මූලික කර ගනිමින් මිනිසත්කම වල් වැදී ඇති අද සමාජයෙහි මිනිසා පිරිහී ඇති බව නම් නොරහසකි. එලෙස පරිහානියට පත් වීමෙහිලා මූලිකම සාධකය වී ඇත්තේ ධනය බලය ආදී විකෘති ආශාවන් පසුපස හඹායාම නිසාවෙනි. තරගකාරී ජීවන රටාවකට හුරුවෙමින් පවතින වත්මන් මිනිස් සමාජය ධාර්මිකත්වය කෙසේ වුවත් ධනය උපයා ගැනීම හා ඒවා පරිභෝජනය කරනුයේ නොයෙක් දුසිරිත් කි‍්‍රයාවන් මුල්කොට ගෙනය.

මේ නිසා සමාජය දිනෙන් දින විනාශ වීම හැර යහමගට පැමිණීම කෙසේවත් බලාපොරොත්තු විය නොහැකි හෙයින් ධර්මානුකූල වීම මෙකී සියලූ අංග සඳහා මූලිකම සාධකයකි. ‘‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’’ ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ යන වටිනා බුද්ධ අවවාදයට අනුගත වීම තුළ නූතන සමාජයෙහි විකෘති ආශාවන් පසුපස හඹා යමින් සිටින මිනිසා එමගින් ගලවා ගැනීමේ ප‍්‍රධානම මාර්ගය වනු නියතය. එහිදී ධාර්මික බව මූලික වන හෙයින් එතුළින් මුළු මහත් සමාජයම යහපත් මගට යොමු වනු ඇත. තථාගත බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ මෙම දේශනාවන් තුළින් අප දිවි මග ආලෝකමත් කර ගන්නා සේම දැහැමි සාර්ථක දිවි පෙවෙතක් උදෙසා මාවත සකස් කර ගැනීමද අතිශය වැදගත් වන්නකි. ඒ සඳහා අවැසි ශක්තිය හා දිරිය ධර්මයේ ආශිර්වාදය තුළින්ම ඔබ සැමට ලැබේවායි මෙත් සිතින් පතන්නෙමු.

ශාස්ත‍්‍රපති, කනංකේ
විජිත නන්ද හිමි

advertistmentadvertistment
advertistmentadvertistment