ශ‍්‍රී ලංකාව මාලදිවයිනට 1- 0 කින් පරදී

141

මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි ජාතික ක‍්‍රීඩාංගණයේ දී දැන් ක‍්‍රියාත්මක 13 වැනි දකුණු ආසියාතික පාපන්දු තරගාවලියට අයත් 07 වැන්න ලෙස ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින අතර තරගය ඊයේ (10 වැනිදා) පැවැත්වුණි. ඒ අනුව ලීග් ක‍්‍රමයට පැවති මූලික වටයේ අවසන් තරගයට එක් වූ ශ‍්‍රී ලංකා පිල ඊයේ සවස පැවැති සටනෙන් සත්කාරක මාලදිවයින හමුවේ ගෝල් 01 – 00 ක් ලෙස පරාජයට පත් විය.

මෙම තරගයේ පළමු භාගය නිමා වන විට ගෝල් 01 – 00 ක් ලෙස පෙරමුණේ පසු වන්නට මාලදිවයින ට හැකි වූ අතර එම තත්ත්වය නියමිත කාලය පුරාම ආරක්ෂා කර ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජයග‍්‍රහණය සටහන් කර ගත්තේය. ඒ අනුව අදාළ ජයග‍්‍රහණයත් සමගම ප‍්‍රසාද ලකුණු පුවරුව ඉහළ නංවා ගනිමින් ලකුණු 07 කට හිමිකම් කියන්නට මාලදිවයින ජාතික කණ්ඩායමට හැකි විය.

මෙවර තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව ලත් තෙවන පරාජය ලෙස මෙය සටහන්වුණි.

ආරම්භක තරගයේදී බංග්ලාදේශය හමුවේ ගෝල් 01 – 00 ක් ලෙස ද දෙවන තරගයේදී නේපාලය හමුවේ ගෝල් 03 – 02 ක් ලෙස ද ශ‍්‍රී ලංකාව පරාජය ලැබීමට සිදු විය.

ලෝක ශේණිගත කිරීමට අනුව 107 ස්ථානය හිමිකර ගෙන සිටින ඉන්දියාව ට එරෙහිව තියුණු තරගයකට අවතීර්ණ වෙමින් ගෝල් 00 – 00 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් කර ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්වීම මෙවර තරගාවලියේදී කැපී පෙනුණි.

මනරම් තරගයක නිරත වෙමින් අපරාජිතව තරග බිමෙන් පිටතට පිවිසීමට ශ‍්‍රී ලංකා පිලට හැකිවූ අතර එය මෑත ඉතිහාසයේ ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඉන්දියාව ට එරෙහිව ප‍්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවය ලෙස ද හඳුන්වා දිය හැකිය. එහි ප‍්‍රතිඵලයක් ලෙස එක් ප‍්‍රසාද ලකුණක් ශ‍්‍රී ලංකාව සතු විය.

සාෆ් පාපන්දු ඉතිහාසය තුළ 02 වතාවක් ශූරතාව දිනා ගෙන ඇති මාලදිවයින ට එරෙහිව ඊයේ (10) ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩකයින් අතින් අපේක්ෂිත දක්ෂතා ඉස්මතු නොවීම කැපී පෙනුණි.

තරගයේදී ශ‍්‍රී ලංකා පිල නිවැරදි රිද්මයට අනුවර්තනය වීමටත් ප‍්‍රථම තරගයේ සටහන් වූ එකම ගෝලය වාර්තා කර ගැනීමට මාලදිවයිනට හැකි විය. ඉදිරිපස වම් අන්තයේ සිට ඉහළින් පැමිණි පන්දුව හිසින් හරවා යවමින් දර්ශනීය ගෝලයක් බවට පරිවර්තනය කිරීමට ”අෂ්ෆක් අලී” සමත් විය.ඒ වන විට තරගය ඇරඹී ගතවී තිබුනේ මිනිත්තු 07 ක් පමණි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ගේ තරග රටාවේ රිද්මය ගිලහී ගිය බවක් දක්නට ලැබුණි.ඉන් උපරිම ප‍්‍රයෝජන ගත් මාලදිවයින් ක‍්‍රීඩකයින් කෙටි පන්දු හුවමාරු තුළින් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් වෙහෙසට පත් කරන ආකාරයක් දිස් විය.

එහෙත් තරගයේ 70 මිනිත්තුවේ සිට 75 මිනිත්තුව දක්වා ප‍්‍රබල ආක‍්‍රමණයක් දියත් කරන්නට ශ‍්‍රී ලංකා ඉදිරිපෙළ ක‍්‍රීඩකයින් සමත් වූ අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස තරඟයේ පාලනය ශ‍්‍රී ලංකා පිල වෙත දෝලනය වන ආකාරයක් දිස් විය. නමුත් ප‍්‍රතිවාදී ගෝල් කණුව ආසන්නයේ අනවශ්‍ය ලෙස කලබල වීමේ හේතුවෙන් පහසු ගෝල සටහන් කිරීම තිබුණු අවස්ථා දෙකක්ම මගහැරී ගියේය. ඒ වන විට මාලදිවයින ක‍්‍රීඩකයින්ගේ රිද්මයද ඉවතට ගොස් තිබිණ.

මෙම තරගයේ ප‍්‍රථම භාගයට වඩා දෙවන අර්ධයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සිදු කළ ආක‍්‍රමණශීලි ක‍්‍රීඩා රටාව කැපී පෙනුණි. එහෙත් ගෝල් ලබා ගැනීමට තිබුණු ආසන්න අවස්ථා කිහිපයක්ම ගිලිහී යාම හේතුවෙන් තරගයේ ලකුණු තත්ත්වය සම කිරීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාව වෙතින් ගිලිහී ගියේය.

ඒ අනුව ගෝල් 01 – 00 ක් ලෙස සත්කාරකයින්ගේ දෙවන ජයග‍්‍රහණය සටහන් විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment