එදත් අපාය සහ අදත් අපාය

1054

පසුගිය පැය 48 තුළ කැලණි විශ්වවිද්‍යාලයේදී මළ හත්තිලව්වක්ම සිදුවිය. කතාව කෙටියෙන් මෙසේය. විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියකු විවේකාගාරයේ නිදා සිටියදී ඔහු පැහැරගත් සිසු පිරිසක් අති විශාල වශයෙන් ඔහුට පහරදී ගේට්ටුවේ ගැටගසන ලදි. මේ නිසා විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසීමට සිදුවිය. සිකියුරිටිකාරයාට ගුටි දෙන ලද්දේ සරසවි සිසුවකුගේ මවකට ඒකා විසින් ලිංගික බලහත්කාරකමක් කිරීම නිසා බව සිසුහු කියති. සිසු පිරිස ඉල්ලන්නේ සරසවිය වැසීම නොව සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම ය. මේ අතර සිසුන්ගෙන් ගුටි කෑ ආරක්ෂක නිලධාරියාට විශ්වවිද්‍යාල මට්ටමින්ම සුභාරංචියක් පැවසීමට අපට පුළුවන. කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව තාක්ෂණ අංශයේ විශේෂඥ කණ්ඩායමක් විසින් සන්ධි ආබාධ සුව කිරීමේ ගුණයෙන් යුතු නව ඖෂධීය ආලේපයක් නිපදවා ඇත. මේ ආලේපය නිපදවා ඇත්තේ සම්පූර්ණයෙන්ම ස්වාභාවික අමුද්‍රව්‍ය යෙදීමෙනි. ගුටි කෑ සිකියුරිටි මහතාගේ හන්දිපත් රුදාවට මේ ආලේපය යොදාගැනීම ඉන්තේරුවෙන්ම සිදුකළ හැකිය. සිකියුරිටි මහතාගේ පැත්තෙන් එය වෛද්‍ය පර්යේෂණයකට දායක වීමකි. ඒ අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ගේ අභයාරාමයේ ලයිට් බිල නොගෙවීම නිසා විදුලි බල මණ්ඩලය විසින් ලයිට් කපා තිබේ. මෙය වැරදි වැඩක් බවත් ලයිට් කැපීමේ නිසි ක්‍රමවේදයට පිටින් යෑමක් බවත් මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කියති. අප දන්නා පරිදි ලයිට් බිල නොගෙව්වේ නම් ලයිට් කපනු ලැබේ. මේ නීතිය මේ දිනවල ඉතා තදින් ක්‍රියාත්මක වේ. මිහිඳු මහා රහතන් වහන්සේ ඇතුළු උපාසක උපාසිකා පිරිසක් වැඩම කළ මිහින්තලයේ විදුලි බිල නොගෙවීම නිසා ලයිට් කැපූ විදුලිබල මණ්ඩලයට අභයාරාමයේ ලයිට් කැපීම ගේමක් නොවේ. ඓතිහාසික මූලාශ්‍රවලට අයත් කිසිදු මහ රහතන් වහන්සේ නමක් අභයාරාමයට වැඩම කර නැත. පන්සල්වල ලයිට් ඕනෑවට වැඩි බව අපි නොකියමු. අප කියන්නේ පන්සල් විශාල බැවින් වැඩිපුර ලයිට් ප්‍රමාණයක් අවශ්‍ය බවය. එහෙත් මේ තත්ත්වය මගහැර ගැනීම සඳහා පුළුවන් තරම් පුංචියට පන්සල් ඉදිකරන ලෙස අප ඉල්ලුවොත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා අප සමග මහත්සේ අමනාප වනවා ඇත. පුරාණ කාලයේදී ද පන්සල්වල රෑ එළිවන තුරු ලයිට් දමාගෙන පුණ්‍ය කටයුතු සිදුකරන ලද බව මීට මාස කිහිපයකට පෙර භික්ෂුන් වහන්සේ නමක් විසින් දෙසා වදාරනු ලැබ තිබුණි. මෙහිදී කුඩා නිවැරදි කිරීමක් කරමු. ලංකාවේ මුල් යුගයේදී පන්සල්වල ලයිට් තිබුණේ නැත. සිංහල රජ කාලයේදී පන්සල් ආලෝකවත් කරන ලද්දේ ගිනි පන්දම් පත්තු කිරීමෙනි. නොඑසේ නම් තැඹිලි කෝම්බවල බහාලු කැකුණ ඇට පත්තු කිරීමෙන්ද ආලෝකය සපයාගන්නා ලදී. 1960න් පසු පෙට්‍රෝ මැක්ස් ලාම්පු යොදාගෙන පන්සල් ආලෝකවත් කෙරිණ. 1977 දී ලංකාවේ සෑම ගමකටම විදුලිය ලබාදීමේ ව්‍යාපෘති පටන්ගන්නා අතර මෙය ගමට ලයිට් යනුවෙන් හඳුන්වනු ලැබේ. ඒ නිසා මේ රටේ පන්සල් මධ්‍යම රාත්‍රිය වනතුරුත් ලයිට් දමාගෙන පුණ්‍ය කටයුතු සිදුකළේ නම් ඒ පුරාණ කාලයේ නොව 1977 න් පසුවය.

කල්මුණේ පරිවාස සහ ළමා ආරක්ෂක නිවාසයේ රඳවා සිටි 15 හැවිරිදි පිරිමි දරුවකුට පහරදී මරාදැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ නිවාස පාලිකාව රිමාන්ඩ් කරන ලදී. දරුවාට පහරදී තිබුණේ විකට් පොල්ලකිනි. හරිආකාර මර්මස්ථානයකට අඩි රූලකින් පහරදුන්නත් කෙනකුගේ මරණය සිදුකළ හැකිය. දැනට රිමාන්ඩ් එකේ සිටින ප්‍රින්ස් පිලේන්ද්‍රන් නමැති සැකකාරිය අඩි හයේ හතරේ ගැහැනියකි. ඇගේ පින්තූර පුවත්පත්වල පළවී තිබෙන අතර ඒ යෝධ අතපයවලින් පහර කා කෙනකු මිය නොගොස් සිටියොත් එය සුවිශේෂ පුදුමයක් වනවා ඇත. ලංකාවේ ළමා නිවාස යනු අපායවල් ය. මේවා එදත් අපායවල් ය. අදත් අපායවල් ය. මේවායේ සිටින ගැහැනු දරුවෝ දූෂණය කිරීම සඳහා අලෙවි කරනු ලැබේ. පිරිමි දරුවෝ සමලිංගික කටයුතු සඳහා යෙදවෙති. ඒ නිසා මේ රටේ ළමා නිවාස සියල්ල ආරක්ෂක හමුදාවල සුපරික්ෂාව යටතේ පවත්වාගෙන යා යුතු තත්ත්වයක් මතුව ඇත. නිවාසවල පාලිකාවන් විසින් සිදුකරනු ලබන තිරිසන් වධ බන්ධන ඉවසාගත නොහී ඒවායින් පැන යන නව යොවුන් දැරියෝ මගදීම සිය තරුණකම විශාශ කර ගනිති. ඇතැම් දැරියන් නිවාසයෙන් පනින්නේම සිය තරුණකම නැතිවීමෙන් පසුව ය. මේ රටේ ළමා නිවාස ගැන රජයේ අවධානය ගිලිහී ගොස් තිබේ. එසේ ගිලිහුණු අවධානය නැවත එකතු කර ළමා නිවාස වෙත යොමුකිරීම මහත් ආනිශංස දෙන පින්කමක් වනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment