කවියාගේ කාර්යභාරය කුමක් ද?

97

නිකොලායි ගොගොල්ගේ

කවියා යනු නිර්මාණාත්මක ව සිතන්නෙකි; නිර්මාණාත්මක ව ලියන්නෙකි. හෙතෙම අප සමග ගනුදෙනු කරන්නේ ස්වකීය නිර්මාණාත්මක කාර්යයන් හරහා ය. ඔහුගේ නිර්මාණයන්හි ඇසුරට වැටෙන අපි ඔහුගේ අනවරත බලපෑමට ලක් වන්නෙමු. එනයින් බලන කල කවියා වූ කලී අප ද නිර්මාණය කරන්නෙකි; හැඩ ගස්වන්නෙකි. කවියා, නිර්මාණකරුවා සමාජශෝධකයකු යැයි පැවැසෙන්නේ එබැවිනි. එසේ නම් ඔහු සතු ප්‍රමුඛ කාර්යභාරයක් තිබිය යුතු ය. ඒ කෙබන්දක් ද?

“අපෙන් අප ඇදගෙන අපට අප වඩාත් හොඳ තත්ත්වයකින් යළි භාර දීම කවියාගේ කාර්යභාරය ය.”

ශ්‍රේෂ්ඨ රුසියානු ග්‍රන්ථකාරයකු වන නිකොලායි ගොගොල්ගේ කියුමෙකි, ඒ. අප ඉහතින් නැඟූ පැනයට නිසි පිළිතුරක් ගොගොල් ලබා දී ඇතැයි මම සිතමි. කවියාගේ කාර්යභාරය පිළිබඳ ව දහසක් මත රැව් පිළිරැව් දිය හැකි නමුදු ඉහත කියමන ඔස්සේ එය වටහාගැනීමට තැත් කිරීම වඩාත් සාධාරණ ය. ගොගොල්ගේ මේ කීම කොටස් දෙකකට කඩා විමසා බලනු වටී.

මේ කියන ආකාරයට කවියා පළමු ව කරන්නේ “අපෙන් අප ඇදගැනීම” යි. අපෙන් අප ඇදගැනීම යනු කුමක් ද? සාහිත්‍ය නිර්මාණයක් ඇසුරු කරන අපි ඊට අනුගත වන්නෙමු; කවියා සමග ඒකාත්මික වන්නෙමු. එහි හැඬුම් – සිනා, සැප – දුක්, යස – අයස, ප්‍රේමය – විරහව, නින්දා – ප්‍රශංසා, සොම්නස් – දොම්නස් අපි අපේ ම කරගන්නෙමු. කොටින් කියතොත් අපි ඒ තුළ ජීවත් වන්නෙමු. නිදසුනක් ලෙස වෙස්සන්තර ජාතකය හෝ යශෝදරාවත කියවන සහෘදයකුගේ ඇසට උනන කඳුළු මෙය මොනවට පැහැදිලි කරවන්නකි. “අපෙන් අප ඇදගැනීම” යැයි පැවැසෙන්නේ මෙන්න මේ අවස්ථාවට යි. කවියා මෙය කරන්නේ කෙසේ ද? සාමාන්‍ය නිර්මාණය වූ කලී හදවතට ආමන්ත්‍රණය කිරීම ප්‍රමුඛ කොටගත් කාර්යයකි. එසේ නම් අපෙන් අප ඇදගැනීම අරමුණු කොටගත් කවියා පළමු ව එබෙන්නේ අපගේ හදට ය. අප හද ගැහෙන රාවය හඳුනාගන්නා දක්ෂ කවියා අපගේ හැඟීම් සමඟ ගනුදෙනුවට ඉඩහසර වෙන් කරගන්නේ නිතැතිනි. කලා විෂයයක ශික්ෂණය ඇති හෙතෙම නානාවිධ උපාය උපක්‍රම මඟින් මෙහි සමත්කම් ලබ යි. ඔහු මෙහි ලා ඉමහත් මෙහෙයක් ලබනුයේ තමා වහරන බසිනු යි. පාඨකයා වසඟයට ගත හැකි මනහර බසකින් කවියා සන්නද්ධ විය යුත්තේ ඔහුගේ මේ පළමු කාර්යය සාධනය කරගැනීම පිණිස යි.

සිය පළමු කාර්යය සාර්ථක ව සපුරාගත් දක්ෂ කවියා ඊළඟට සිය දෙවැනි කාර්යයට බසි යි. එනම්, “අපට අප වඩාත් හොඳ තත්ත්වයකින් යළි භාර දීමට” ය. මේ කියන්නේ කුමක් ද? පළමු ව “අපෙන් අප ඇදගත්” කවියා ඉක්බිති, අනිවාර්ය ලෙස ම අප හසුරුව යි. මෙහි දී ඔහු ඉව කරන්නේ අපගේ බුද්ධියට ය. ඔහු අප ඇදගත්තේ හොඳ වේ වා, නරක වේ වා, බුද්ධිමත් වේ වා, මූඪ වේ වා මේ සියලු සිතුවිලි, අදහස් සමග ය. ඊළඟට ඔහු කරන්නේ සිය නිර්මාණය තුළින් ගෙන හැර පාන චින්තාවන් සමග අර කියන ලද අපගේ සිතුවිලි, අදහස් ඝට්ටනය කිරීම යි. මේ අවස්ථාවේ දී පාඨකයාගේ සිතුවිලි මැඬ තම චින්තාවන් ඔහු මත ආරෝපණය කිරීමෙහි කවියා සමත් වේ. ඔහු මේ සමත්කම ලබන්නේ පළමු ව “අපෙන් අප ඇදගැනීමට” දක්වන දක්ෂතාවය අනුව ය. විශිෂ්ට සාහිත්‍ය නිර්මාණයක් කියැවීමෙන් අප මහත් සංවේගයට, කම්පනයට පත් වන්නේ “සිටි තත්ත්වයෙන් වඩාත් හොඳ තත්ත්වයකට අප ඔසොවා තැබෙන” බැවිනි. කවියා අමරණීයත්වය ලබන්නේ මෙන්න මේ ශ්‍රේෂ්ඨ කාර්යය ඉටු කිරීමෙනි. “මා හැදුණේ මෙන්න මේ පොත කියැවූ පසු ය” යි යමෙක් කියයි නම් කවියාගේ කාර්යභාරයට පිරිනැමෙන උසස් ම සම්මානය එය යි. “ආනන්දයෙන් ප්‍රඥාවට” යනු එය යි.

සමාජ යහපත උදෙසා කවියාගේ කාර්යභාරය සුළුපටු නො වේ. මෙහි අගය වඩාත් වැදගත් වන්නේ යට කියන ලද ක්‍රියාවලිය ඊට ප්‍රතිපක්ෂ ලෙස සමාජ පරිහානිය කරා ද ක්‍රියාත්මක වීමේ ඉඩ ඇති බැවිනි. සරල ව කිවහොත් “හොඳ පොතකින් හොඳ මිනිහෙකු සේ ම නරක පොතකින් නරක මිනිහෙකු” ද බිහි විය හැකි බැවිනි. කවියාගේ සමාජශෝධක මෙහෙවර හුදු දම් දෙසුමක් ද නො විය යුතු ය. ධර්මදේශකයාත් කවියාත් අතර පැහැදිලි වෙනසක් අප දකින්නේ එහෙයිනි. මෙනයින් බලන කල කවියාගේ කාර්යභාරය කුමක් ද යන්න දැන් අපට පැහැදිලි වේ.

චන්දන ඉලන්දාරිගේ

advertistmentadvertistment
advertistmentadvertistment