රිදී තිරය රිදී සීනුවෙන් හැඩ කරන ඉසුරු
මට අකැමැති මිනිස්සුත් ඕනෑ තරම් ඇති
මම ජීවත් වෙන්නේ රඟපාලා
මේක තනියෙන් ආපු ගමනක් නෙමෙයි

ජීවිතයේ විවිධ කාලවලදී විවිධ අභියෝගයන්ට මුහුණදෙමින් තම අභියෝගයන් ජයගත් බොහෝ තරුණයන් ඔබටත් මුණගැසී ඇති කියලා මම විශ්වාස කරනවා. අන්න එහෙම නොයෙක් අභියෝගවලට මුහුණදී ජීවිතය ජයගත්තු රංගන ශිල්පියෙක් එහෙමත් නැතිනම් නළුවෙක් පසුගිය දවසක අපිට මුණගැසුණා. ඒ උදයකාන්ත වර්ණසූරියගේ රිදී සීනු චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැති අවස්ථාවේදීය. නමින් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි වූ ඔහු මේ දිනවල රිදී තිරය රිදී සීනුවෙන් හැඩවැඩ කරන්නයි හදන්නේ.

මම රඟපාන්න ආවේ ඕඩියන්ස් එකට අප්පුඩි ගහන්න ඇවිල්ලා - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

ඉසුරු රංගනයෙන් දායක වුණු රිදී සීනු චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා?

පසුගිය කාලයේ අපි සමාජ මාධ්‍ය හරහා ලොකු වෙනසක් වෙනවා දැක්කානේ. ඉතිං මේ රිදී සීනු චිත්‍රපටය තුළින්ද කතාබහ කරන්නේ පුංචි දරුවෙක් මුහුණුපොතේ දැමූ සටහනකින් පසුව රට ලොකු වෙනසකට පත්වෙන ආකාරයයි. මෙහි ප්‍රධාන චරිත දෙක මගේ පුතා සහ දුව කියන චරිත දෙකයි. පුතාට රඟපාන්නේ චානෙල් කියන පුතා. සෙලීනා ට්‍රින්කි තමයි දුවට රඟපාන්නේ. අම්මාට ඉන්නේ උපේක්ෂා ස්වර්ණමාලී. ඊට අමතරව රවීන්ද්‍ර රන්දෙණිය” ශ්‍යාම් ප්‍රනාන්දු” රොජර් සෙනෙවිරත්න වගේ ප්‍රධාන නළු නිළියන් කිහිපදෙනකු රඟපානවා. මම හිතන්නේ මෑත කාලයේ ප්‍රදර්ශනය වුණේ ගොඩක් ආදර කතා චිත්‍රපටනේ. මේක සමාජයට පණිවුඩයක් ලබාදෙන චිත්‍රපටයක්.

රිදී සීනු අනාගත පරපුරට හොඳ පණිවුඩයක් ලබාදෙනවා

හරියටම හරි. මේක හොඳ චිත්‍රපටයක් කියලා විශ්වාස කරනවා. අනික මේක පවුලේ චිත්‍රපටයක්.

මේ ආරාධනාව ලැබුණේ කොහොමද?

මම මේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයා සමග වැඩකරන තුන්වැනි චිත්‍රපටය. හතරවැනි එක තමයි ගිනි අවි සහ ගිනිකෙළි. මට එතුමත් එක්ක වැඩකරන්න ලැබීම ලොකු අවස්ථාවක්.

මම රඟපාන්න ආවේ ඕඩියන්ස් එකට අප්පුඩි ගහන්න ඇවිල්ලා - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

ඇයි ඒ ?

මම බොහොම පුංචි කාලේ ඒ කියනනේ ඉස්කෝලේ යන කාලේ තමයි උදයකාන්ත මහත්මයාගේ චිත්‍රපට බැලුවේ. එතකොට මම නළුවෙක් වෙන්න හිතලවත් නැහැ. මම රංගනයට ඇවිත් එතුමත් එක්ක වැඩකරන්න ලැබීම ලොකු අවස්ථාවක්. ඔහු පිළිවෙළක් ඇතිව වැඩකරන අධ්‍යක්ෂවරයෙක්. ඔහුත් සමග වැඩකරන්න හරි පහසුයි.

සමාජයට පණිවුඩයක් දෙන පිටපතක් අතට ලැබුණහම ඔබට මොකද හිතුණේ ?

මම වැඩකරපු චිත්‍රපට අතුරින් මේන වෙනස්ම චරිතයක්. කලාකරුවෙකුට තියෙන ඉහළම දේ තමයි ආත්ම තෘප්තිය. මම දායක වුණු නිර්මාණයකින් මේ රටේ ආකල්පය වෙනස් කරන්න පුළුවන් නම් ඒක ලොකු භාග්‍යයක්. මම කරන චරිතය ඇතුළේ දෙමාපියන්ට ගන්න ගොඩක් දේවල් තියෙනවා. අපේ රටේ ගොඩක් දෙමාපියෝ ඉන්නේ තමන්ට කරන්න බැරිවුණ දේ දරුවන් ලවා කරවාගන්න. ඒක තමයි මේ රටට තියෙන ලොකුම විනාශය. ඒකටත් හොඳම උදාහරණය තමයි මගේ චරිතය. මේ චරිතය දෙපාරක් හිතන්නේ නැතිව මම භාරගත්තා.

රිදී සීනු රූගත කිරීම් අවසන් වුණාට පසුව අධ්‍යක්ෂවරයා මොනවාද කිව්වේ?

උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ වැඩිහිටියන්ට පමණයි සහ ළමා චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණු එකම නළුවා මම වෙන්න ඇති කියලා මම හිතනවා. ගිනිමල් පොකුරු සහ රිදී සීනු තමයි චිත්‍රපට දෙක. නළුවෙක් විදිහට මාව විශ්වාස කරපු එක ගැන ලොකු සතුටක් තියෙනවා. මේ සියල්ලටම වඩා හාත්පසින් වෙනස්ම චරිතයක් තමයි මම කළේ ගිනිඅවි සහ ගිනිකෙළි චිත්‍රපටයේ ලකීගේ චරිතය හරහා.

ඔහුව මාව අධ්‍යක්ෂණයට හසුරුවාගන්න පුළුවන් වීම තුළනේ මම මේකේ රැඳී ඉන්නේ. මොකද මගේ පවුලේ තාත්තා අධ්‍යක්ෂවරයෙක්වත් නිෂ්පාදකවරයෙක්වත් නෙමෙයි. කිසිම පුද්ගලික හැඳින්වීමක් මත නෙමෙයි මම මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. මම විශ්වාස කරන දෙයක් තමයි මගේ හැකියාව මත තමයි මම මෙතැන ඉන්නේ.

මේ දවස්වල ටෙලිනාට්‍ය වැඩකටයුතු එහෙම කොහොමද?

මේ අවුරුද්දේ මම ජනවාරිවල ජපානයේ සහ මාර්තුවල කුවේට් සහ ඩුබායි රාජ්‍යවල සංචාරයක නිරත වුණා. මාර්තු 07 ලංකාවට ආවා. දැන් තමයි සිහින ගෙනෙන කුමාරියේ සහ අකුරට යන වෙලාවේ නාට්‍ය දෙකට රංගනයෙන් දායක වෙන්නේ. ඊට අමතරව මීයා 2 ටෙලිනාට්‍ය කරන්න සූදානමක් තියෙනවා. තව මහේෂ් මුණසිංහගේ සූර්යා චිත්‍රපටයේ වැඩ ඉවර කළා. ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ සූරිය සුළඟ චිත්‍රපටයේ වැඩ ඉවර කළා. චිත්‍රපට එක්ක ගොඩක් කාර්යබහුල වුණා.

චිත්‍රපට කීයක් තිරගත වෙන්න තියෙනවාද?

මගේ චිත්‍රපට දහයකට වඩා එන්න තියෙනවා. මේ වසරේ එන්න තියෙනවා ගිනිඅවි සහ ගිනිකෙළි” සූරිය සුළඟ” මන්දාරා වගේ චිත්‍රපට. ඔය අතරේ තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා. මම හරි ආසයි සිනමාව එක්ක ගනුදෙනු කරන්න.

පසුගිය කාලයේ ඔබට වෙනස් අධ්‍යක්ෂවරු ටිකක් මුණගැසෙනවා. මොකද හිතෙන්නේ?

ඔව් ඒක මම හිතනවා මම ලබපු භාග්‍යයක් කියලා. ඒකාකාරී නොවූ විවිධ චරිත අධ්‍යක්ෂවරු මට ලබාදෙන්නේ ඒ අධ්‍යක්ෂවරු මාව විශ්වාස කරලයි. ඒ චරිත ඇතුළේ මට මගේ හැකියාව පෙන්වන්න පුළුවන්. ඒ සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙන්න ඕනෑ.

මම රඟපාන්න ආවේ ඕඩියන්ස් එකට අප්පුඩි ගහන්න ඇවිල්ලා - ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

පසුගිය කාලයේ මීයා ටෙලිනාට්‍ය හින්දා වැඩිපුර බැණුම් ඇහුවාද?

මම නිර්මාණයකට දායක වෙන කොට මම ඒ චරිතය ප්‍රෆෝම් කරන්න පුළුවන් ප්‍රමාණය තමයි බලන්නේ. ඒකත් එක්තරා දේශපාලනික කාරණයක්. නමුත් ඒක හොඳ නිර්මාණයක්. ඒ විශ්වාසයේ ඉන්න අයට ඒක ලොකු පහරක් වුණා හැබැයි ඒක ඇතුළේ චින්තන ධර්මදාස කථා කරපු මාතෘකාව ඇතුළේ ලොකු සත්‍යයක් තිබෙනවා.

ඔබ පිටපතක අතට ලැබුණහම මොනවාද බලන කරුණු කාරණා ?

මම වෘත්තීමය රංගන ශිල්පියෙක්. මම කන්නේ බොන්නේ මම ජීවත්වෙන්නේ රඟපාලා. මම කරනා වැඩේ ඇතුළේ මගේ කලාව පෝෂණය වීම මගේම ඒ හරහා සමාජයට දෙන්න පුළුවන් පණිවුඩය මොකක්ද යන වග. ඒ සියල්ල ඇතුළේ මගේ වටිනාකම මේ ඔක්කොම රවුම් ඇතුළේ තමයි මම නිර්මාණය තෝරගන්නේ. සමහර චරිත හරහා සමාජයට දෙන්න පුළුවන් පණිවුඩය සහ ප්‍රමාණය මත මුදල් කියන කාරණය ඉතාම චූටි එකක් වෙන්න පුළුවන්. හැබැයි මට ලොකු වටිනාකමක් ලැබිලා මගේ වචනයෙන් කියනවා නම් බල්ලෙකුට කටේ තියන්න බැරි එකක් නම් මම ඒක කරන්නේ නැහැ.

මේ වෙනකොට ඔබට ලැබුණු චරිත ගැන තෘප්තිමත්ද?

පැහැදිලිවම. මම අතිරේක රංගන ශිල්පියෙක් විදිහට රඟපාන්න ආපු මිනිහෙක්නේ. මම ඕඩියන්ස් එකේ අත්පුඩි ගහන්න ආපු මිනිහෙක්. මම රඟපෑම පටන් ගන්නේ එතැනින්. එතැන ඉඳලා මම මෙතැනට එනකම් මම යම් තැනක ඉන්නවා කියලා විශ්වාස කරනවා. මේක සාගරයක් වගේ. තව ගොඩක් දුර යන්න තියෙනවා. අධ්‍යක්ෂවරු විශ්වාස කරලා චරිතයක් දෙන තැනට ආපු එක ගැන මම මාර තෘප්තිමත්. මේක තනියෙන් ආපු ගමනක් නෙමෙයි. සියලු දෙනාගේම සහයෝගය ඇතුවයි මෙතැනට ආවේ. මේක මම තනියෙම ගහපු මැච් එකක් නෙමෙයි.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි නළුවා ගැන ඔබට මොකද හිතෙන්නේ ?

මම ආපස්සට හැරිලා බලද්දී රෑට නිදාගන්නකොට කල්පනා කරනවා වෙලාවකට මම මේ දකින්නේ හීනයක්ද කියලා. හේතුව මම ඉපදෙන්නේ මාතර කොටවිල නිදන්වල කියන ගමේ. අපි දකින දේවල් ඇතුළෙනේ අපේ ජීවිත හදාගන්නේ. මගේ ගෙදර ටීවී එකක් තිබුණෙත් නැහැ. ඒ කාලේ අපේ ගමට කරන්ට් එකවත් තිබුණේ නැහැ. මම මේ කුණ කෑවා නෙමෙයි කියන්නේ. ඒක මාර සුන්දරයි. මට කොළඹත් හරි දුරයි. ඒ කාලේ හයිවේත් නෑ. කොළඹ එන්න පැය පහක් හයක් ගතවෙනවා. අනික කොළඹ නෑදෑයොත් නෑ. ගමේ නොමිලයේ පෙන්වන දහඅට සන්නියක් බලලා මියුසිකල් ෂෝ එකක් බලන් හිටපු මට මෙතැනට එන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ. ඉස්කෝලේ ඩ්‍රාමා කළාට පස්සේ යුද හමුදාවට බැඳුණා.

දන්න මිනිහෙක් වෙන්න පුළුවන් මෙයා බැංකු මංකොල්ලයක් කාල හරි. දැන් ඔය සමහර පාතාලේ නම් කිව්වහම රටම දන්නවානේ. මම නොදන්න මිනිස්සුත් ඒ ගොල්ලෝ දන්නවා. දන්න මිනිහෙක් වෙන එක ලේසියි. මිනිස්සු ආදරය කරන මිනිහෙක් වෙන එක මාර අමාරුයි. මට කැමැති නැති මිනිස්සු මේ රටේ ඕනෑ තරම් ඇති. හැබැයි මිනිස්සු ආදරය කරන චරිතය වුණේ කලාව හින්දා. ඒකට මම මාර ආසයි. මාර සතුටුයි. නළුවෙක් වීම ගැන මට මාර සතුටුයි.

දිනේෂ් විතාන
ඡායාරූප : අන්තර්ජාලයෙනි

advertistmentadvertistment
advertistmentadvertistment