අවුරුද්දට නැතුවම බැරි බුලතේ උපත

38

සිංහල අලුත් අවුරුදු සමයට නැතිවම බැරි බුලත්වලට ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය තුළ හිමිව ඇත්තේ ඉතා වැදගත් ස්ථානයකි. බුලතේ උපත ගැන සඳහන්ව ඇති ජනප්‍රවාදය ඉතා අපූර්ව එකකි. එයට අනුව අප මහ බෝසතාණන් වහන්සේ එක් ආත්මයක හාවෙකු වී ඉපිද භාවනාවේ යෙදී සිටින බව සක් දෙවිඳුන් දැක එය සත්‍යයද යන්න සොයා බැලීමට මහලු වේශයක් ගෙන හාවා අසලට පැමිණ “මට හරියට බඩගිනියි” කියා කෑමට දෙයක් ඉල්ලුවේය. එවිට හාවා අසල ගිනි ගොඩක් ගසන්නැයි කීවේය. සක් දෙවිඳුන් ගිනි ගොඩක් ගැසූ විට හාවා ‘දැන් මම මේ ගිනිගොඩට පනිනවා ඉන්පසු උඹ රැගෙන කාපන්’ කියා ගිනිගොඩට පැන්නේය. එවිට හාවා දෑතින් අල්ලා ගත් සක් දෙවිඳුන් හාවා හොඳට නහවා දෙව් ලොවට ගෙන ගොස් හාවාගේ රුව හඳේ ඇඳ එම තෙලි කූර බිමට දැම්මේය. එවිට එම තෙලි කූර පොළොව පලා ගෙන ගොස් නාග ලොවේ විසූ නා රජුගේ මුව මත පතිත වී නා රජු මරණයට පත්විය. ඊට පසු නා රජු ආදාහන කළ තැනින් දින හතකට පසු බුලත් පැළ පැළවුනු බවත් ඒ නිසා ‘දලුමුණි’ යන නම බුලතට යෙදූ බවත් සඳහන් වේ. “දලු මුර උපත” නම් ශාන්ති කර්මයේදී ද සිංහල තොවිල් කවිවලද බුලතේ උපත ගැන කියැවේ. පුරා වෘත්තවල සඳහන් වන්නේ මහා සම්මත රජුගේ මැණික් පාලී නම් බිසවකට උපන් දොළ දුකක් සංසිඳවීමට මෙලොව බුලත් නොතිබුණු නිසා නාග ලෝකයේ සිට නාග කන්‍යාවක් විසින් බුලත් කොළය මනු ලොවට ගෙන ආ බවයි. එය ගෙන ආවේ නටුවෙන් හා තුඩෙන් අල්ලා ගෙන බැවින් බුලත් කොළයේ එම කොන් දෙකේ නයි විෂ ඇතැයි මතයක් අදටත් පවතී. එනිසා බුලත් කොළයේ දෙකොන කඩා ඉවත් කර කෑමට ගැනීම සාමාන්‍ය සිරිත වී තිබේ. අතිතයේ කැළණි ප්‍රදේශයේ ජනතාව මෙම ජනප්‍රවාදයට ගරු කරනු වස් බුලත් කොටුවකින් ලබා ගන්නා මුල්ම බුලත් කොළ ටික පුවක් මලක් සමඟ කැලණි වෙහෙරට පූජා කිරීම සිරිතක්ව පැවතුණි. එම ජනප්‍රවාදය අනුව බුලත් නාග ලෝකයෙන් අපට ලැබුණු බව විශ්වාස කෙරෙන අතර බුලත් ඉන්දිය සංස්කෘතියෙන් අපට ලැබුණු බවටද විශ්වාසයක් පවතී. හින්දුන් විශ්වාස කරන්නේ බුලත් දිව්‍ය ලෝකයෙන් ලැබුණු බවයි. ඒ අනුව බුලත් මනු ලොවට රැගෙන එන ලද්දේ “අර්ජුන්” නම් දිව්‍ය කුමාරයකු විසිනි. කෙසේ වුවත් අතීතයේ බුලතට සුවිශේෂී ස්ථානයක් හිමිව තිබූ බව පැහැදිලිය. රජතුමාට බුලත් සැපයූ තැනැත්තා බුලත් වඩන්නා හෙවත් බුලතා නම් විය. සොරබොර වැව තැනුවේ දුටුගැමුණු රජුගේ බුලත් වඩන්නා බවද ජනප්‍රවාදයේ සඳහන් වේ.

බුලත් අතට කොළ 40 ක් යොදා ගැනීම පිළිබඳවද විවිධ මත පවතී. චූලෝදර මහෝදර ගැටුම සමතයකට පත් කිරීමේදී දෙපාර්ශ්වයම නියෝජනය වන පරිදි බුලත් කොළ 20 බැගින් ගෙන ඇති බව එක් මතයකි. එක් පාර්ශ්වයකින් බුලත් 20 ක් ගනු ලැබුවේ නාග රාජයා හා සේනාධිවරු 19 දෙනාගේ එකතුව අනුවය. බුලත් හුරුල්ලකට 20, 20 බැගින් කොළ 40 ක් ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ දන්තයන් 40 ක් තිබුණු නිසා බව තවත් මතයකි. පළමුව බුලත් දත්වලට යොමු වන නිසා බුදුන්ගේ ශ්‍රී මුඛය ආශ්‍රිතව සැලකූ බව පෙනේ. බුද්ධ පූජාවට ගන්නා බුලත් ප්‍රමාණය කොළ 40 කි. දේව පූජාවලට බුලත් කොළ 35 කි. දෙමව්පියන්ට පිළිගන්වන බුලත් කොළ ගණන 40 කි. ගුරුවරුන්ට පිළිගන්වනු ලබන බුලත් අතට කොළ ගණන 30 කි. ග්‍රහ පූජා වලදී බුලත් 12 ක්ද නව ග්‍රහ පූජාවට බුලත් 9 ක්ද ශාන්ති කර්ම සඳහා යක්ෂ භූත තටුවලට බුලත් 21, 18 වශයෙන්ද ගනු ලැබේ. මංගල හෙප්පුවේ බුලත් කොළ ගණන 21 කි. එහිදී බුලත් කොළවල තුඩු හෙප්පුවේ ඇතුළට සිටින සේ සැකසිය යුතුය. හෙළ සිරිතට අනුව මනාලිය මනාලයා හමුවට මුල් වරට පැමිණෙන්නේ සුදු රෙදි කැබැල්ලකින් වැසූ මෙම බුලත් හෙප්පුවක් අතැතිවය. එහිදී මනාලිය බුලත් හෙප්පුව මනාලයාට පිළිගැන්වූ විට මනාලයා ඉන් බුලත් කොළයක් ගැනීමෙන් මනාලියට කැමති බව සංකේතවත් කරයි.

සාමාන්‍ය බුලත් හා නාගවල්ලි බුලත් යනුවෙන් බුලත් වර්ග දෙකක් ඇත. නිවසක නාගවල්ලී බුලත් වැළක් පැවතීම එම නිවසට දේව ආකර්ෂණය ලැබීමට හේතු වේ. මන්ත්‍ර විද්‍යාවේ සඳහන් පරිදි දේව බුලත්, ස්ත්‍රී බුලත්, පුරුෂ බුලත්, යක්ෂ බුලත් යනුවෙන් වර්ග හතරක් ඇත. පලුදු නැති ලක්ෂණ පියකරු බුලත් දේව බුලත් වශයෙන්ද, බුලතේ අග දකුණට නැමී ඇති බුලත් පුරුෂ බුලත් හා වමට නැමී ඇති බුලත් ස්ත්‍රී බුලත් වශයෙන්ද විකෘති බුලත් යක්ෂ බුලත් වශයෙන්ද හැඳින්වේ.

බුලත් පිදිය යුත්තන් වන්නේ බුදුන්, සඟුන්, දෙවියන්, ගුරුන්, මව, පියා, වෙදුන්, ජ්‍යොතිෂඥයන්, ප්‍රභූවරුන්, වෛශ්‍යාවන් යන අයට බව දක්වා ඇති අතර

“දේව රාජ ගුරු භාර්ය්‍යා වෛද්‍ය නක්ෂත්‍ර පාඨකාන්
නාගච්ඡෙද්‍රිකත හසෙතන කාර්ය්‍යං භවනී නිෂ්ඵලං”

යනුවෙන් දෙවියන්, රජුන්, ගුරුන්, වෛශ්‍යාවන්, වෙදහු, නැකැත් දන්නාහු යනාදීන් දක්නා විට ශුන්‍ය හස්තයෙන් ගිය කල අභිප්‍රාය සිද්ධ නොවන බව දක්වා ඇත. වෙදැදුරනට මුදලට වඩා වටින්නේ බුලත් අතය. ජ්‍යොතිෂඥයකු හමුවට යන විට අනිවාර්යයෙන් බුලත් ගෙන යා යුතුය. වෙනත් අය විසින් දුන් බුලත් මේසය මතින් ගෙන එහි පඬුරු දීම නුසුදුසුය.

විශේෂයෙන් කොටහළු හා විවාහ මංගල උත්සව සඳහා ආරාධනා කරන විට බුලත් කොළයක් දිය යුතුමය. බුලත් සමූහය පන්සලේදී දැහැත් වට්ටිය නමිනුත්, නිවෙසේදී බුලත් හෙප්පුව නමිනුත්, මංගල උත්සවයේ බුලත් තට්ටුව නමිනුත්, මළ ගෙදරදී ඉලත්තට්ටුව නමිනුත්, ගුප්ත විද්‍යාවේදී මල් බුලත් තට්ටුව නමිනුත් හඳුන්වන අතර ගමනේදී බුලත් හැඹිලිය හෝ බුලත් මඩිස්සලය හෝ බුලත් පයින්ගලය නමින් හඳුන්වයි. පූජා වට්ටි සැකසීමේදී ද, පිරිත් නූල් කැබලි ගෙන යෑමේදීද, පෝරුවේ චාරිත්‍රවල පොළෝ මහී කාන්තාව සතර වරම් දෙවියන් සහ වැඩිහිටි ඥාතීන් පිදීමේදී ද බුලත් භාවිතා වේ. අවමංගල්‍යයකදී ඉලත්තට්ටුව සකස් කරන්නේ බුලත් කොළ කනපිට හරවමිනි. සාංඝීක දානවලට, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවලට, ධර්ම දේශනාවලට භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්නේ විහාරයට ගොස් දැහැත් වට්ටියක් පිළිගැන්වීමෙනි.

“ඔවුහු බුලත් හැපීමට ආශා ඇත්තෝය. නොකා නොහැඳ සිටියත් බුලත් විටක් නොකා නම් සිටින්නට නොහැකිය” යනුවෙන් සිංහල ජනතාවගේ බුලත් සැපයීම ගැන එදා හෙළදිව කෘතියේ රොබට් නොක්ස් සඳහන් කර ඇත. “සිංහල කම්කරුවන් වැඩක නොයෙදී සිටින විට හෝ විවේකී අවස්ථාවල කතාබහේ යෙදෙන විට නිරතුරුවම බුලත් හැපීමේ යෙදෙන බව” ශ්‍රී ලංකාවේ එකොළොස් වසක් නම් කෘතිය ලියූ මේජර් ෆෝබ්ස් ද සඳහන් කර ඇත.

අවුරුද්දට නැතුවම බැරි බුලතේ උපත

ජ්‍යොතිෂවේදී,අ වාස්තු විද්‍යා උපදේශක
විදුහල්පති දේශමාන්‍ය දේශබන්දු ආචාර්ය කපිල ඉන්ද්‍රික ගුණදාස
මාලිබොඩ දැරණියගල. 076 8248000

advertistmentadvertistment
advertistmentadvertistment