විමල්ට එරෙහි වත්කම් නඩුව මාර්තු 1ට කල්යයි

71

අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වසර පහක කාලය තුළදී සිය වැටුපෙන් හා ආදායම්වලින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු 1 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (29 දා) නියෝග කළේය.

එම විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ගොනු කර ඇති බවත් ඒ අනුව අලුතින් ප්‍රදර්ශන භාණ්ඩ 16 ක් ඇතුළත් කර ඇති බවත් අධිකරණයට පෙන්වාදුන් පැමිණිල්ල මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය ඊට අදාළ ලේඛන ඊයේ අධිකරණයට හා විත්තියට භාර දුන්නාය.

එකී නව ප්‍රදර්ශන භාණ්ඩ 16 අතරින් හතක් සම්බන්ධයෙන් පරිගණක සාක්ෂි ආඥා පනත යටතේ සාක්ෂි මෙහෙයවීමට පැමිණිල්ල අපේක්ෂා කරන බව ද අධිකරණයට පැවසූ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඊට අදාළ නොතිසි ද විත්තියට භාර දුන්නාය.

පැමිණිල්ල විසින් මේ වනවිට විත්තියට ලබාදී ඇති යෝජිත පිළිගැනීම් 74 කින් සමන්විත ලේඛනයට අදාළ පිළිගැනීම් පිළිබඳව විත්තියේ ස්ථාවරය දැන ගැනීම සඳහා හා පැමිණිල්ලේ වැඩිදුර කරුණු දැක්වීම් සඳහා දින ලබාදෙන ලෙසට ද අයේෂා ජිනසේන මෙනවිය කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment