වැඩිම පැමිණිලි ලියාපදිංචි ඒජන්සිවලට එරෙහිව

114

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වැඩිපුරම පැමිණිලි ලැබී ඇත්තේ කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනවලට යයි එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අයි. පතිනායක මහතා පවසයි.

මෑත කාලසීමාවේදී කාර්යාංශයේ විමර්ශන ඒකකයට පැමිණිලි 1080 ක් ලැබී ඇති බවත් ඉන් පැමිණිලි රැසක්ම ලියාපදිංචි රැකියා නියෝජිතායතනවලට එරෙහිව බවත් හෙතෙම පැවසීය.

විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා ලබා නොදීම, විදේශගත වූ පසු නියමිත පරිදි රැකියා ලබා නොදීම හේතුවෙන් නැවත ලංකාවට පැමිණීමට සිදුවීම ආදී කරුණු පදනම් කරගෙන 2022 ජනවාරි 01 සිට නොවැම්බර් 30 දක්වා කාර්යාංශයට ලැබුණු පැමිණිලි විමර්ශනය කර පැමිණිලිකරුවන් වෙත රුපියල් තුන්කෝටි හතළිස්එක් ලක්ෂ හැත්තහතර දහසක මුදලක් ඔවුන්ට අයකර දීමට කටයුතු කර තිබෙන බවත් ඔහු කීය. 2021 ඒ ආකාරයෙන් පැමිණිලිකරුවන් වෙත රුපියල් අසූනම ලක්ෂ හතළිස් පන්දහස් නමසීයක් අයකර දී ඇතැයි ද ඔහු කීය.

මේ වනවිට කාර්යාංශයට ලැබුණු පැමිණිලි විභාග කර ඒජන්සි 13 ක කම්කරු බලපත්‍රය අවලංගු කළ බවත්, තවත් පැමිණිලි කිහිපයක් විමර්ශනය කර බලපත්‍ර අවලංගු කිරීමට නියමිත බවත් පතිනායක මහතා කීය. මේ වනවිට අධිකරණය හමුවේ නඩු 205 ක් ගොනු කර ඇති බවත් ඒවා අතරින් 115 ක් ඒජන්සි ආයතනවලට එරෙහිව බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා, ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment