රටේ ආහාර සුරක්ෂිතතාවයට ඩොලර් මිලියන 900 ක් ඕනෑ  

131

ආචාර්ය සුරේන් බටගොඩ

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ඩොලර් මිලියන 900ක් අවශ්‍ය බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා සඳහන් කළේය.

මේ වන විට දියර කිරි නිෂ්පාදනය සියයට 19.8කින්, කුකුළු මස් නිෂ්පාදනය සියයට 12.1කින් හා බිත්තර නිෂ්පාදනය සියයට 34.9කින් ද පහළට ගොස් තිබේ. මෙම තත්ත්වය දිගටම පැවතියහොත් ලබන වසරේ දී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම බිඳ වැටීමේ අවදානමක් පවතී. විශේෂයෙන් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු හා වෙනත් නිෂ්පාදන මෙන්ම රසායනික පොහොර හිඟය හා ඉන්ධන හිඟය නිසා පශු සම්පත් කර්මාන්තය බිඳ වැටිය හැකි බව ඒ මහතා සඳහන් කළේය.

මෙම තත්ත්වය වළක්වා ගැනීමට නම් කෘෂිකර්මාන්තයේ ඉදිරි කටයුතූ සඳහා ඩොලර් මිලියන 900 ක අවශ්‍යතාවක් පවතී. එවැනි මුදලක් රජයේ භාණ්ඩාගාරයෙන් එකවර ලබා ගැනීමේ අපහසුතා පවතින හෙයින් කෘෂිකර්මාන්තයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඩොලර් ගිණුමක් ආරම්භ කළ යුතු යැයි ද ආචාර්ය සුරේන් බටගොඩ මහතා යෝජනා කළේය.

එසේ නොකළහොත් ලබන වසරේදී විශාල පෝෂණ ඌනතාවකට රටේ ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔහු අනතුරු ඇඟවීය.

මෙම ගිණුම සඳහා විදේශවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්, ජාත්‍යන්තර සංවිධාන හා වෙනත් ආධාර කණ්ඩායම් මගින් එම මුදල ලබා ගැනීමට කටයුතු කළ හැකි බවත් හෙතෙම අවධාරණය කළේය.

ඒ අනුව ඩොලර් ගිණුමක් පවත්වාගෙන යෑම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment