පොත්පත්වලට වැට් එපා! – පොත් ප්‍රකාශකයෝ ජනපතිගෙන් ඉල්ලති

89

අධ්‍යාපනය, සංස්කෘතිය, බුද්ධිමය ප්‍රගතිය ඇතුළු පුද්ගල සංවර්ධනය සඳහා උපකාරීවන පොත්පත් සඳහා රජය මගින් පනවා ඇති සියයට 18 ක වැට් බදු පැනවීම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

වැට් බදු පැනවීම නිසා පොත් මිල ඉහළ යෑමෙන් මුද්‍රණකරුවන්, පොත් අලෙවිකරුවන්, ආනයනකරුවන්, ලේඛකයන් හා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නියෝජනය කරන විවිධ පාර්ශවයන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් එයට විරෝධය දක්වමින් එක්සත් යුරෝපීය හා ජාත්‍යන්තර පොල් අලෙවිකරුවන්ගේ සංගමය (EIBF) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය විරෝධය ලිඛිතව දැනුම්දී ඇති බවත් පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා පැවැසීය.

ලෝකයේ සෙසු රටවල් තම ජනතාවගේ දැනුම් ප්‍රවේශය පහසුකිරීමට උත්සහ කරමින් සිටින විට ශ්‍රී ලංකාව රජයේ ආදායම් වැඩිකර ගැනීමට මෙම කර්මාන්තයට බදු පනවමින් එහි බරපතළ ප්‍රතිවිපාක නොසලකා හැරීම ‘බිත්තර දමන කිකිළිය මරා දැමීමක් ’වැනි යැයිද ඒ මහතා කීය.

මෙම කර්මාන්තය දැනටමත් බදු ආදායම ලෙස රජයට රුපියල් බිලියන 01 කට වැඩි දායකත්වයක් ලබාදෙන බවත් ඒ පාසල් පෙළපොත් සහ අනෙකුත් පොත් නිෂ්පාදනය කිරීමේදී යොදා ගන්නා අමුද්‍රව්‍යවලින් 90% ම සපයන ආනයනකරුවන් විසින් ගෙවනු ලබන වැට් බද්ද හරහා බවත් ඉන්දීවර මහතා කීය.

විවිධ රජයන් විසින් පාලනය කළ පසුගිය කාලවල පැනනැගුණු ආර්ථික අභියෝග හේතුවෙන් පුළුල් ජනගහණයකට මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ මූල්‍යමය බර දරාගැනීමට සිදුවී තිබෙන බව එම සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංග මහතා පැවැසීය.

වැට් බදු වැඩිකිරීම මගින් ශ්‍රී ලංකාව 1950 වසරේ යුනෙස්කෝ සංවිධානයේ “ෆ්ලෝරන්ස්” ගිවිසුමද උල්ලංඝනය කරමින් සිටින බව කී ඒ මහතා ශ්‍රී ලංකාව මෙම ගිවිසුමේ මුල් අත්සන්කරුවකු වන බවද කීය.

ෆ්ලෝරන්ස් ගිවිසුමට අනුව ආනයන කරනු ලබන යම් අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික ද්‍රව්‍ය මත රේගු බදු හා අනෙකුත් බදු පැනවීමෙන් වැළකී සිටීමට එහි ගිවිසුම්කාර පාර්ශවයන් බැඳී සිටින බවද ඉන්දීවර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment