පාස්කු නඩුවට සිසිර මෙන්ඩිස්ගේ සාක්කිය ගන්නේ නැහැ – ඔහු ගැන වෛද්‍ය වාර්තාවකුත් කැඳවන්න නීතිපති කියයි

186

පාස්කු ප‍්‍රහාර මැඩ පැවැත්වීමට නිසි පියවර නොගැනීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ තුන්වන සාක්‍ෂිකරු ලෙස අධිකරණයට කැඳවූ හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානී නන්දන සිසිර මෙන්ඩිස් මහතාගේ සාක්‍ෂිය පැමිණිල්ල වෙනුවෙන් කැඳවීමක් නොකරන බව නීතිපතිවරයා ඊයේ (15 දා) කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේය.

පැමිණිල්ලේ ඉල්ලීම මත අධිකරණය විසින් නිකුත් කළ සිතාසි නියෝග මත සිසිර මෙන්ඩිස් මහතා ඊයේ (15 දා) පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටියේය. එම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා කරුණු දක්වමින් සාක්‍ෂිකරුගේ සාක්‍ෂිය ලබා ගැනීමට පෙර ඔහු අධිකරණය හමුවේ සාක්‍ෂි දිය හැකි මානසික හා ශාරීරික මට්ටමක සිටින්නේ දැයි පැමිණිල්ලට නිශ්චිත කරගත යුතු හෙයින් ඒ සම්බන්ධයෙන් කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් වාර්තාවක් කැඳවීමට නියෝගයක් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම සාක්‍ෂිකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින උගත් නීතිඥවරයා පැමිණිල්ලේ සාක්‍ෂිකරු පාස්කු කොමිෂන් සභාව හමුවේදී 2019 වසරේදී සාක්‍ෂි ලබාදුන් අවස්ථාවේදී ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තාවක් අනුව තමා එම ඉල්ලීම සිදුකරන්නේ යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයා පුරා දින හතක කාලයක් එම කොමිෂන් සභාව හමුවේදී දින හතක කාලයක් පිටු 600 කට ආසන්න සාක්‍ෂියක් ලබාදී ඇති බවත් අධිකරණය අවසර ලබා දෙන්නේ නම් මෙම නඩුව සම්බන්ධයෙන්ද සාක්‍ෂි ලබාදීමට සුදානම් බවත් සිසිර මෙන්ඩිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චානක රණසිංහ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය නිකුත්කරමින් විනිසුරු ම`ඩුල්ල පෙන්වා දුන්නේ එම සාක්‍ෂිකරු යම් මානසික රෝගයකින් පෙළෙන බවට එකී වෛද්‍ය වාර්තාව අනුව පෙනී නොයන බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ගෙන් වෛද්‍ය වාර්තාවක් කැඳවීමේ අවශ්‍යතාවයක් ඇති බව තම අධිකරණයට පෙනී නොයන බවයි. ඒ අනුව එම සාක්‍ෂිකරුගේ සාක්‍ෂිය මෙහෙයවීමට පැමිණිල්ලට බාධාවක් නොමැති බවද විනිසුරු ම`ඩුල්ල සිය නියෝගය මගින් පෙන්වා දුන් අතර ඔහුගේ සාක්‍ෂිය කැඳවීම සම්බන්ධයෙන් දහවල් 12.00 ට පෙර තීරණය කරන ලෙස නීතිපතිවරයාට විනිසුරු ම`ඩුල්ල දැනුම් දුන්නේය.

ඒ අනුව සාක්‍ෂිකරුගේ සාක්‍ෂිය කැඳවීමට පියවර නොගන්නා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේය. වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන ජනවාරි 18 වැනිදා දක්වා කල් තැබීමට නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඞ් ඉර්සදීන් යන විනිසුරු ම`ඩුල්ල තීරණය කළහ.

රජයේ අධිනීතිඥවරුන් වන හංස අබේරත්න, සහන්‍යා නාරම්පනාව හා දමිතිනි ද සිල්වා සම`ග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පැමිණිල්ල මෙහෙය වූහ.

ජනාධිපති නීතිඥ මොහාන් විජේකෝන් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිය නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment