රනිල් රැක ගැනීමේ ලන්සලාගේ මෙහෙයුම : ජනතා විරෝධය නිෂ්ක්‍රීය කළ හැකිද?

1708

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ දිනවල මුහුණපා සිටින සමාජ – දේශපාලන උභතෝකෝටිකවල විශේෂයෙන් කැපී පෙනෙන සිදුවීම් දෙකක් ඇත. එකක් ඉකුත් සතියේ ඔහු විසින් සිදු කරන ලද සුළු කැබිනට් මුහුණු හුවමාරුව විසින් ඇති කරන ලද්දකි. අනෙක එළඹෙන අය – වැයෙන් රු. 20,000ක වැටුප් වර්ධකයක් ඉල්ලා රාජ්‍ය ආයතන හා වෙනත් වෘත්තිකයන් විසින් දියත් කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරයයි. ඒ හා සමගම විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව ගම් – නගර භේදයකින් තොරව ජනතාව වීදි බැස පන්දම් දල්වමින් ආණ්ඩුවට දක්වන විරෝධය ද උත්සන්න වෙමින් තිබේ. මෙයින් සුළු කැබිනට් සංශෝධනයක් ලෙස හැඳින්වෙන ඇමැති මුහුණු මාරුව නිමිති කරගත් විරෝධය දේශපාලනික වශයෙන් බැලූවිට එය ශ්‍රී ලංකා පොදු පෙරමුණේ හෙවත් පොහොට්ටු පක්‍ෂයේ දේශපාලන බල තෘෂ්ණාව හා ඔවුන්ගේ ආධ්‍යාත්මික බංකොලොත් බව මෙන්ම දේශපාලන මුග්ධ බවද පිළිබිඹු කරන්නක් ලෙස හැඳින්වීම වැරදි නැත. ඇත්ත වශයෙන්ම ජනතාව වීදි බැස සිටින්නේත් රාජ්‍ය අංශවල වෘත්තිය සංවිධාන පාලකයන්ට බලකරන්නේත් තමන් පෙලන, තමන්ට පීඩාවක් වී තිබෙන ජීවන වියදම් ප්‍රශ්නයට සාධාරණයක්, යුක්තියක් අයැදමින්ය. එහි වරදක් තිබේද? විදුලි බිල අඩු කිරීම ඇතුළු ජීවන වියදමට සහනයක් ඉල්ලීම කිසිසේත් දෝෂ දර්ශනයට ලක් කිරීමට ද නොහැක. එහෙත් රට වළපල්ලට ගියත් අපේ මල්ලටත් බරක් ඕනෑ යැයි මහජන නියෝජිතයෝ රණ්ඩු කරත් නම් එහිද ප්‍රශ්නයක් තිබේ. රට අගාධයට තල්ලු වීමට වගකිව යුතු දේශපාලනඥයන් ලෙස ජනතා විරෝධයට ලක්වූ පිරිසක්, ඒ පීඩිතයන්ට උඩින් පැන වරප්‍රසාද ඉල්ලීම අමන දේශපාලන යාචකයන්ගේ මුග්ධ ප්‍රතිචාරයක් ලෙස කෙනෙක් හඳුන්වන්නේ නම් එහි වරදක් තිබේද?

කෙසේ හෝ ඇතැම් ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලද ආකාරය සත්‍යයක් නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්‍ෂය හා ජනාධිපති රනිල් අතර මේ වනවිට බරපතළ ගැටුමක්, විරසකයක් උත්සන්න වෙමින් තිබිය යුතුය. පොහොට්ටුවේ ලේකම් සාගරත් රාජපක්‍ෂ කඳවුරේ නූතන භූමිකාවේ ප්‍රමුඛයා වන නාමල් මන්ත්‍රීවරයාත් ජනාධිපති රනිල්ට බරපතළ අධි චෝදනා පත්‍ර ඉදිරිපත් කර සිටිති. සාගර කියන්නේ ජනාධිපති රනිල් තමන් සමග ඇතිකරගත් එකඟතාව කඩකර ඇති බවය. නාමල්ගේ විවේචනය වන්නේ පරිණත නායකයකු ලෙස ජනාධිපති රනිල් සන්ධාන දේශපාලනය ගැන දැන සිටිය යුතු බවය. එළඹෙන අයවැයෙන් ජනතාවට සහන සැලසිය යුතු වන්නා සේම මුහුණු මාරුවෙන් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බවද නාමල් පවසා තිබේ. එය සත්‍යයකි. මෙහිදී ඉදිරියට පැන සාගරට හා නාමල්ට ප්‍රතිචාර දැක්වීමට කලක් පොහොට්ටුවේ නායක මහින්දට වඩාත් සමීපව සිටි නිමල් ලන්සා ඉදිරිපත්වීම ද උත්ප්‍රාසය දනවයි. කුමක් වුවත් සිල්ලර ටෙලි නාට්‍යයක රූප රාමු පෙළක් බඳු මේ දේශපාලන රණ්ඩුව තුළින් ගම්‍ය වන්නේ රාජපක්‍ෂ දේශපාලන ව්‍යාපෘතිය ඛේදජනක අවසානයක් කරා ගමන් කරමින් තිබෙන බවය.

ජනාධිපති රනිල් ලෝකයට ආර්ථික දේශපාලන පාඩම් උගන්වමින් රට රටවල සංචාරය කළත් ඔහුට මේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් බව කියන නඩයට අවම වසයෙන් රට මුහුණ දී තිබෙන සමාජ ආර්ථික අර්බුද සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ලබා දීමට නොහැකිව ඇතැයි හැඟෙන්නේ ඒ හැසිරීම් දෙස බලන විටය. පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ලෙස හැඳින්වෙන අය විසින් රටේ ආර්ථිකය නැංවීම සඳහා කවර හෝ යෝජනාවක් කළහුදැයි අපි නොදනිමු. මේ තරමින් රටේ ආර්ථිකයේ කඩාවැටීම නවත්වා ගැනීමට හැකි වී තිබෙන්නේ දේශීය හා විදේශීය ණය ගෙවීම නවත්වා තිබෙන පසුබිමක විනා වෙනත් ආර්ථික හෝ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් නිසා හෝ නොවන බවද අපගේ වැටහීමය. ඇත්තටම එජාපයේ ඇතැම් චරිත විසින් ජනාධිපති රනිල්ගේ හපන්කම් සබඳකම් ආදිය සම්බන්ධයෙන් කෙරෙන අතිශයෝක්තිවල තරමට ඔහුට ද රටට දැනෙන ආර්ථික වැඩපිළිවෙලක් නැති බව දැන් තහවුරු වී තිබේ. එහෙත් ඔහු යම් ප්‍රමාණයකින් රටත් ආණ්ඩුවේ යාන්ත්‍රණයත් පවත්වාගෙන යයි. එසේ වුවද පොහොට්ටුව තවමත් කල්පනා කරන්නේ තමන්ට ද ඇගැයීමක් ලැබිය යුතු බවය. එනම් කැබිනට් ඇමැති වරමක් ලැබීමට තමන් සුදුසු බවය. පොහොට්ටුවේ ප්‍රබලයා වන බැසිල් ද මේ කැබිනට් දොළදුක් සංසිඳවීමට උත්සාහ කළ අයෙකි. එහෙත් ඒ සඳහා රනිල්ව නම්මා ගැනීමට ඔහුට ද නොහැකි විය. මේ වන විට සමාජ මාධ්‍යවල කෙරෙන අනාවරණයන්ට අනුව ද පොහොට්ටුවට ඇමැතිකම් නොදී ආණ්ඩුව ගෙන යෑමට නොහැකි බව පැවසේ. එහෙත් එබඳු කැබිනට් සංශෝධනයකට ජනාධිපති රනිල්ට යොමුවිය හැකිද?

මේ වනවිට මෙරටේ දේශපාලනය බෙහෙවින් කුණපයක් වී තිබෙනු පමණක් නොව ආණ්ඩුව ගමන් කරන දිශාන්තය ගැන ද බරපතළ ප්‍රශ්න මතුවෙමින් තිබේ. රට අරාජික වී ඇතැයි ඍජුව කිව නොහැකි වුවද නීතියේ පාලනය, ජන ජීවිතවලට එල්ල වී තිබෙන බිය හා අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන්ද චෝදනා මතුවී තිබේ. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර සහයෝගයෙන් කළ යුතු පොලිස්පතිවරයකු පත්කර ගැනීමට පවා අද ආණ්ඩුවට නොහැකි වී තිබේ. පොලිසිය සම්බන්ධ විවේචන බොහෝය. පසුගිය දිනක ගාල්ලේ මහෙස්ත්‍රාත්වරයා විසින් සඳහන් කරන ලද්දේ උද්ඝෝෂණ අයිතියට පොලිසියට බාධා කළ නොහැකි බවය. එසේම විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණයකට එල්ල වූ පොලිස් කඳුළු ගෑස් ප්‍රහාර ගැන අධ්‍යාපන ඇමැතිවරයා ද සමාව අයැද තිබුණි.

මෙබඳු මතභේදාත්මක වූද අභියෝගාත්මක වූද සමාජ – දේශපාලන හැසිරීම් කිසිවක් ගැන නොතකා තමන්ට වරප්‍රසාද ඉල්ලන දේශපාලන අඳෝනා ගැන කිව හැක්කේ කුමක්ද? අනෙක් අතට අද පොහොට්ටුවේ බොහෝ අයට වසරකට පෙර තමන්ට මුහුණ දීමට සිදුවූ ඛේදනීය දේශපාලන අත්දැකීම් ද අමතක වී තිබෙන සෙයකි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය බඳු දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් රටට ස්ථාවරත්වයක් ලබා දුන් හිටපු ජනාධිපති මහින්දට මෙන්ම එහි

පුරෝගාමී චරිතයක් වූ ගෝඨාභයට සිය විධායක බලය ද අතහැර යෑමට තරම් ප්‍රබල වූ ජනතා නැගිටීම අද පොහොට්ටුව අමතක කර ඇත. පොහොට්ටුවේම සමහරුන් පවසන පරිදි එදා දෙකේ දෙකේ පොල්ලකින් මැඬලිය හැකි අරගලයක් ද ඒ තම පාක්‍ෂිකයන්ගේ බිය සැක දුරුකර ඔවුන්ව යළි සමාජගත වීමට හැකි වූයේ රනිල් ජනාධිපති වූ නිසා බව බැසිල් රාජපක්‍ෂ ද මුවපුරා පැවසීය. එහෙත් දැන් ඒ සියලු බාධක, ගැටලු නොමැති සමාජ දේශපාලනයකට උචිත පරිසරයක් සැකසී ඇතැයි පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ කල්පනා කරත්ද? එසේ නොවේ නම් ඇමැති සැප විඳ තව මාස කීපයක් හෝ ගෙවා දමා දේශපාලනයෙන් සමුගෙන යෑමට ඔව්හු කල්පනා කරත්ද? ඒ කුමක් වුවත් මේ සමාජ දේශපාලන වාතාවරණය තුළ ඇමැති ලෝභයෙන් රණ්ඩු කිරීම කවර ශිෂ්ට ක්‍රියාවක්ද?

ඇත්ත වසයෙන්ම රාජ්‍ය සේවකයන්, සුළු රැකියාවකින් ජීවිත ගැටගසා ගත් ජන කොටස් මෙන්ම පොදුවේ බහුතරයක් වන ජනතාව ද අද ගෙවන ජීවිතය අතිශය පීඩාකාරී එකකි. අගක්, මුලක් නැති කරදර දවසින් දවස ඒ ජනතා හිස මතට පාත්වෙමින් තිබේ. එහෙව් වාතාවරණයක තවත් ඇමැති නඩයක් කරතබා ගැනීමට මේ ජනතාවට හැකිද? දැන් සිටින සමහර ඇමැතිවරුන් පවා පවසන්නේ ජනතාවට සහන සැලසිය යුතු වුවත් එයට ක්‍රමයක්, වැඩපිළිවෙලක් නැති බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඔවුන්ගේ දෙවන ණය වාරිකය ලබාදීමට පවා තවම පසුබසිමින් සිටින්නේ ද ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය සම්බන්ධ ගැටලු නිසාය. වියදම් පාලනය, මූල්‍ය විනය සම්බන්ධයෙන් වූ අඩුපාඩු සකසා ගෙනද නැත. අදටත් දූෂණ, වංචා, අක්‍රමිකතා, නාස්තිය ආදී දුෂ් ක්‍රියාකාරකම්වලින් ආණ්ඩුව වැසී ගොස් තිබේ යැයි දැඩි චෝදනා නැගෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් ආර්ථික සැලැස්මක් ද මේ ආණ්ඩුවට නැත. එසේම ඔවුන් විසින් යෝජනා කරන ලද ආර්ථික හා දේශපාලන සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තුවට හෝ ප්‍රමාණවත් තොරතුරු ඉදිරිපත් කර නැති බවද විපක්‍ෂය චෝදනා කරයි. ඇත්තටම රටේ ආර්ථිකය මෙන්ම දේශපාලනය ද නන්නත්තාර වී තිබෙන බවට සමහරුන් නගන චෝදනාව සපුරා ප්‍රතික්ෂේප කළ නොහැකිය. ජනාධිපති රනිල් පසුගිය දිනක රාජකීය විiාලයේදී ප්‍රකාශ කර තිබුණේ ද තවමත් ආර්ථිකය අපේක්‍ෂිත මට්ටමට පත් වී නැති බවය. සියල්ලන්ටම දේශපාලන භේද වෙනම තබාගෙන රට ගොඩ නැංවීමට දායක විය යුතු බවය. එහෙත් ඒ කාර්යයේදී බොහෝ දෙනෙක් බලන්නේ රට ගැන නොව තමන්ට ලැබෙන ලාභ ප්‍රතිලාභ දෙස වීම අප මුහුණ දී සිටින ඛේදවාචකය නොවේද? කුමක් වුවත් ගාමිණි ලොකුගේ වැනි ඇමැතිවරයෙක් ඍජුවම පවසන්නේ මේ ආණ්ඩුව පරාජය කිරීමට තම පක්‍ෂය සූදානම් නොවන බවය. ඔහුට අනුව ලන්සාගේ අභියෝගය හාල්මැස්සන් ප්‍රතිචාරයකි. ඒ ගැන ඊට වඩා කතා කළ යුතු නැත.

දැන් අප විමසා බැලිය යුත්තේ ආණ්ඩුව ඇතුළේ ඇමැති පොරයට වඩා බෙහෙවින් වෙනස් ජනතා ප්‍රතිචාරයක් ගැනය. ඒ වූකලී ආර්ථික යුක්තිය හා ජීවන වියදම් පීඩනය උසුලාගත නොහැකි වරප්‍රසාද රහිත ජනතාවකගේ හඬකි. ඉතා සැකෙවින් කිවහොත් ඔවුන් අයැද සිටින්නේ “අනේ අපට ජීවත් වෙන්න ඉඩ දෙන්න යන හෘදයංගම ඉල්ලීමකි. එළඹෙන අය-වැයෙන් රාජ්‍ය හා ප්‍රාදේශීය රාජ්‍ය සේවකයන් ප්‍රධාන විවිධ වෘත්තිකයන්ට රු. 20,000 ක වැටුප් වර්ධකයක් ලැබිය යුතුය යනු ඒ ඉල්ලීමය. මේ වනවිටත් රාජ්‍ය ආයතන ගණනාවක සේවකයෝ කෑම පැයේදී ඒ සඳහා උද්ඝෝෂණය කරමින් සිටිති. වෘත්තීය සංගම් පවසන පරිදි එය දීප ව්‍යාප්ත විරෝධතාවක පළමු පියවරය. 2016 දී අවසන් වරට රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලැබුණු අතර දැන් වසර 7කට ආසන්න කාලයක් මුළුල්ලේ විඳදරා ගත් ආර්ථික පීඩනය තවදුරටත් දරාගත නොහැකි බව ඔවුහු පවසති.

රනිල් රැක ගැනීමේ ලන්සලාගේ මෙහෙයුම : ජනතා විරෝධය නිෂ්ක්‍රීය කළ හැකිද?

රට ආර්ථික වශයෙන් බංකොලොත් වූ ආකාරයත් – ආණ්ඩුවේ අසංවේදී සමාජ දේශපාලන ප්‍රතිචාරයත් සම්බන්ධයෙන් තිබෙන විවේචන සුළු පටු නොවේ. එදා ආණ්ඩුවට පවා විසඳුමක් දිය නොහැකි වූ කොවිඩ් වසංගතය විසින්ද රටට සිදුකළ අලාභය දැඩිය. එහෙත් ඉන්පසු රටේ සමාජ – ආර්ථික හා දේශපාලන ගමන ජනතා හිතවාදී එකක් නොවූ බවද රහසක් නොවේ. මහජන විරෝධතා දේශපාලන උද්ඝෝෂණ ආදී විවිධ ප්‍රතිචාරවලින් කරන ලද සන්නිවේදනය නොතකා ආණ්ඩුව ගෙන ගිය පාලනය මෙන්ම ආර්ථික ක්‍රියාදාමයන්වල බලපෑම ද එහෙම පිටින්ම කඩා වැටුණේ සාමාන්‍ය ජනතාවට හා රාජ්‍ය සේවකයන්, සුළු වෘත්තියකින් ජීවිතය පවත්වා ගත්තවුන් වැනි කොටස්වල හිස් මතටය. විශේෂයෙන් වෘත්තිකයන් යටත් කළ ආණ්ඩුවේ ඍජු බදු ක්‍රමය මහා විපතක් විය. පාලකයන්ගේ ගජමිතුරන්ට බදු සහනත්, වැඩ කරන ජනතාවට බදු පීඩනයත් දැඩිව දැනෙන්නට විය. මධ්‍යම පන්තිය සරණාගත තත්ත්වයට පත් විය. සුළු පරිමාණ ව්‍යාපාරිකයන් සිඟමනට නොවැටුණා පමණි. ඉන්ධන, ගෑස්, විදුලිය දෙතුන් ගුණයකින් ඉහළ යද්දී අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ද අධික ලෙස වැඩි විය. මාසය අන්තිමට අතට ලැබෙන සොච්චම් වැටුප් හාල් තුනපහේ ටික සපයා ගැනීමටවත් ප්‍රමාණවත් නොවීය. වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන්ගේ වැටුපෙන් බදු ලෙස ගෙවීමට සිදුවූ ප්‍රතිශතය ද ඉතා අසාධාරණ එකක් බව කියැවිණි. දිළිඳු බවේ ප්‍රතිශතය ඉතා ඉහළ ගිය අතර නිවසක ආහාර වේල් තුනෙන් දෙකක් හෝ එකක් කපා දැමීමට ද සිදුවිය. නැති බැරි පවුල්වලට ලබාදුන් අස්වැසුම, සමෘද්ධි වැනි දේවල් සම්බන්ධයෙන් ද අවුල් ජාලා ඇතිවිය. ලංකාවේ දරිද්‍රතාව පිළිබඳ වාර්තා ඉහළ ගිය අතර අඩු ආදායම්ලාභී පවුල් දැඩි අවදානමකට ලක්විය. අස්වැසුම, සමෘද්ධිය ලබාදීම හා අහිමි වීම් සම්බන්ධයෙන් විවිධ ස්වෙච්ඡා සංවිධාන විසින් කරන ලද සමීක්ෂණවලින් හෙළි වූයේ ද ජන පීඩනය උත්සන්න වී තිබෙන බවය. නිලධාරිවාදයේ නපුරු ප්‍රතිඵලවලට අමතරව දිළිඳු සහන අමු අමුවේ ගසාකෑම් සම්බන්ධයෙන් ද හෙළි විය. දේශපාලන අවිධිමත්භාවය නිසාද ඒ ජනතාව පීඩාවට ලක් විය.

රාජ්‍ය සේවකයන් මෙන්ම පෞද්ගලික ක්‍ෂේත්‍රයේ ද බරපතළ අර්බුද විසඳීමට තිබෙන එකම මග වැටුප් වැඩි කිරීම පමණක් නොවන බවද ආර්ථික විශේෂඥයෝ පවසති. නිෂ්පාදන ආර්ථිකයක් හා අපනයන වර්ධනයක් සඳහා සැලසුම් නොමැතිවීමද අර්බුද උත්සන්න කරන බව ඔව්හු කියති. ආර්ථික කළමනාකරණය ගිලිහී යන රටක උද්ධමනය වළක්වා ගත නොහැකි බවද ඔවුන්ගේ අදහසය. ඒ මොන දේ වුවත් අද ඉදිරිපත්ව තිබෙන රුපියල් විසිදාහේ වැටුප් වැඩිවීම මේ අර්බුදය හා පීඩනය අවම කරන සහනයක් බව වෘත්තීය සංගම්වල අදහස වී තිබේ. එහෙත් වර්තමාන මුදල් වටිනාකම අනුව ගත් කල රු. 20,000 යනු විශාල ආර්ථික අනුග්‍රහයක් ලබාදෙන මුදලක් ද විය නොහැක. මේ අතර කවර හෝ ආදායමක් නොලැබෙන කුලියක්, මලියක් කර ජීවිත ගැටගසා ගන්නා අයගේ ඉරණම ගැන ද බැලිය යුතුය. ඇත්තටම සිදුවිය යුත්තේ භාණ්ඩ මිල පහළ දැමීම හා සේවා සැපයුම පුළුල් කිරීමෙන් ආර්ථික ශක්තියක් ලබාදීමකි.

මෙසේ ජීවන වියදමට ආර්ථික සහනයක් ඉල්ලා කෙරෙන උද්ඝෝෂණවලට ආණ්ඩුව දක්වන සංවේදීභාවය කුමක්ද? කෙසේ වුවද මේ විරෝධතාකරුවන්ගේ හඬ සමගම ජනාධිපති රනිල් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති බවද පෙනුණි. මෙවර කැබිනට් රැස්වීමේදී රාජ්‍ය සේවකයන්ට නිසැකයෙන්ම පඩි වැඩිවීමක් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. කුමක් වුවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙම පඩි වැඩිවීම රාජ්‍ය ප්‍රතිපත්තියක් විනා කිසිවකුගේ මැදිහත්වීමකින් කරන ලද්දක් නොවන බවය. එසේම වැඩි කරන ලද මුදල කොතරම් ද යන්න දැනගත හැකි වන්නේ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුවය. කුමක් වුවත් මේ වනවිට උත්සන්න වී තිබෙන විදුලි බිලට එරෙහි ජනතා විරෝධතාව නොතකා හැරිය නොහැකි තත්ත්වයක්ද උදාවී තිබේ. විදුලි බිල වැඩි කිරීමේ හේතු අතරට නිලධාරි මාෆියාව ඔවුන්ගේ අක්‍රමික පැවතුම් ආදිය ද එක්වේ. යහපාලන යුගයේ ජනාධිපති හා අගමැති දෙදෙනාම මේ විදුලිය සැලසුම් නොතකා ක්‍රියාකළහයිද චෝදනාවක් ඇත. කුමක් වුවත් අද විදුලි පරිභෝජනය යනු වරප්‍රසාද සහිත පන්තියට සීමා වූවක් නොවේ. ඇතැම් ලෑලි ගෙයකත් රයිස් කුකරය මෙන්ම විදුලි ස්ත්‍රික්කය සාමාන්‍ය භාණ්ඩ වී තිබේ. සුළු ව්‍යාපාරිකයන්ට, ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයට ආදී බොහෝ තැන්වල විදුලිය අත්‍යවශ්‍ය දෙයක් වී තිබේ. එනිසා විදුලි බිල පහළ දැමීම ආර්ථික ගැටලු ගණනාවකට ද සහන දෙන්නකි. කුමක් වුවත් දවසින් දවස උත්සන්න වන සමාජ – ආර්ථික හා දේශපාලන අර්බුද සමග ආණ්ඩුවේ පැවැත්ම ද අතිශය තීරණාත්මක එකක් වනු ඇත. ලන්සලාගේ හාල්මැස්සන් අභියෝග නිෂ්ක්‍රීය කළ හැකි වුවත් මහජන විරෝධතා – උද්ඝෝෂණ එලෙස සැහැල්ලුවෙන් සැලකිය නොහැකිය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment