මුහුණු පොතෙන් කැනඩාව පෙන්වා විකිරණ ශිල්පියාගේ ලක්ෂ 7කට විදලා

125

වංචාකරු සොයා පරීක්ෂණ

කැනඩා රජයේ විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාවක් ලබාදෙන බව පවසා මුහුණ පොතේ පළවූ දැන්වීමක් අනුව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කරන විකිරණ ශිල්පියකුගෙන් හත්ලක්ෂ දහසය දහසක් ලබාගෙන මුදල් වංචාකිරීමේ සිද්ධියක් පිළිබඳ මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.

පැමිණිලිකරු මුහුණු පොතේ දැන්වීමක් අනුව 2022 අප්‍රේල් මාසයේ සිට අගෝස්තු දක්වා අවස්ථා තුනකදී බැංකු ගිණුමකට එක්ලක්ෂ හතළිස් හයදහසක්, ලක්ෂදෙකක් සහ තුන්ලක්ෂ හැත්තෑදහසක් ගිණුම්ගතකර ඇත.

පැමිණිලිකරු අදාළ දැන්වීම අනුව කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙහි ආයතනයකට ඒ සඳහා විස්තර ලබාගැනීමට ලියකියවිලි ද රැගෙන පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් අනුව ඔහු අදාළ ස්ථානයට ගොස් ලියකියවිලි ඉදිරිපත් කර ඇත. ඉන්පසුව 2022 අගෝස්තු මාසයේ කණ්ඩායමක් කැනඩාවට පිටත්කර යවන බවත් ඒ සඳහා මුදල් තැන්පත් කරන ලෙසත් පවසා ඇත.

පැමිණිලිකරු මෙලෙස අවස්ථා තුනකදී මුදල් තැන්පත්කර ඇත්තේ ඒ අනුවය. වසරක් ගතවී ඇතත් කැනඩා රජයෙන් ශිෂ්‍යත්වයක් නොලැබුණු බව පවසමින් සිද්ධිය පිළිබඳ පොලිසියට පැමිණිලිකර ඇත.

මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විල්ෆ්‍රඩ් සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment