ජනාධිපති රනිල්ගෙ යෝජනාවක් – මුදල් කාරක සභාවේ සභාපති පුටුව හර්ෂට

135

රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (07) පත් කරනු ලැබීය.

හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත් කරන්නැයි කමිටුවට යෝජනා කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වන අතර එම යෝජනාවට කාරක සභාවට සහභාගි වූ සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය පළවිය.

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය මාස 05 කට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී පැවතිණි.

මෙතෙක් එම කමිටුවේ වැඩ කටයුතු මෙහෙයවනු ලැබුවේ කමිටුව තෝරා පත්කරගත් තාවකාලික සභාපතිවරුන් විසිනි.

එම සභාපති ධුරය හර්ෂ ද සිල්වා මහතාට ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි

ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් පසුගිය කාලයේදී දිගින් දිගටම ඉල්ලා සිටියත් ඔහුට එය හිමිවූයේ නැත. හර්ෂ ද සිල්වා මහතා නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය හෙබවීය.

පාර්ලිමේන්තුවේ ඉතා වැදගත්ම කාරක සභාවක් ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව සැලකේ. මූල්‍ය පාලන බලතල අධීක්ෂණය කිරීමේ කටයුතු එම කාරක සභාවට පැවරී ඇත.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (07දා) දින පාර්ලිමේන්තුවට පැමිණ ආර්ථික සම්බන්ධයෙන් ඇති සියලුම කමිටු රැස් කර විශේෂ සාකච්ඡාවක ද නිරතව ඇත.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment