ප්‍රකාශයක් ගන්න කැඳවනවා නම් හේතුව දන්වනවා – දේශබන්දුගේ ප්‍රථම පොරොන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට

851

මින් ඉදිරියට පොලිස් දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ වෙනත් විශේෂ විමර්ශන අංශයක් හෝ යම්කිසි පොලිස් ස්ථානයක් මගින් සැකකරුවකු හෝ විමර්ශනවලට අදාළ පාර්ශ්වයක් ප්‍රකාශ ලබාගැනීමට කැඳවන්නේ නම් ඔවුන් කැඳවන හේතුව හා චෝදනාව සවිස්තරව දැන්වීමට අදාළ චක්‍රලේඛයක් නිකුත් කිරීමට වගබලා ගන්නා බවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (27 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය.දේශබන්දුගේ ප්‍රථම පොරොන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයටප්‍රකාශයක් ගන්න කැඳවනවා නම් හේතුව දන්වනවා

අධිකරණය විසින් නිකුත් කළ නොතිසියක් අනුව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශයේ ස්ථානාධිපති සමග අධිකරණය හමුවේ පෙනී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගාමිණි අමරසේකර, ශිරාන් ගුණරත්න හා ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේ එම පොරොන්දුව ලබා දුන්නේය.

විදුලිබල හා බලශක්ති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ආචාර්ය මහින්ද රලපනාව මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ එම විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්‍ෂකවරයකු, පසුගිය වසරේ නොවැම්බර් 1 වැනිදා පස්වරුවේ තමාට දුරකථන ඇමතුමක් ලබාදී ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නොවැම්බර් 6 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැන්වූ බවත්, කුමන හේතුවක් නිසා එලෙස ප්‍රකාශ ලබාගැනීමට කැඳවන්නේ දැයි තමා විමසූ නමුත් එම කාරණය නිශ්චිතව තමාට දැනුම් නොදුන් බවත් පෙත්සම්කාර මහින්ද රලපනාව මහතා සිය පෙත්සම මගින් පෙන්වා දී තිබිණි.

ඔහු සඳහන් කළ දින අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් නිසා පැමිණිය නොහැකි බවත් නොවැම්බර් 8 වැනිදා පැමිණිය හැකි බවත් තමාට නැවත ඇමතුමක් ලබාදුන් අවස්ථාවේදී එම නිලධාරියාට පැවසූ බවත්, තමා කැඳවන කාරණාව නිශ්චිතව දන්වන ලෙස ඉල්ලා සිටියත් රාජකාරි ලිපියක් සමාජ මාධ්‍යයට මුදාහැරීමට අදාළ කරුණක් මත ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බව පැවසුව ද තමාට එල්ල වී ඇති චෝදනාව නිශ්චිතව ප්‍රකාශ කිරීමට ඔහු අසමත් වූ බවත් පෙත්සම්කරු පවසයි. එමගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටත් පොලිසිය වැනි දෙපාර්තමේන්තුවක්, යමකු යම් ප්‍රකාශයක් ලබාගැනීමට කැඳවන විට අදාළ කරුණ, කැඳවන පාර්ශ්වයට නිශ්චිතව දැනුම්දීමේ වගකීම ඔවුන්ට ඇති බවත් පෙත්සම මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පොලිස්පතිවරයා ලබාදුන් එම පොරොන්දුව අනුව නිකුත් කරන චක්‍රලේඛය සලකා බලා පෙත්සම්කරුගේ මතය අධිකරණයට දැනුම්දීමට දිනයක් ලබාදෙන්නැයි පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ශමින්ද්‍ර වික්‍රම මහතා පෙනී සිටියේය.

ඡායාරූපය – නිශාන් එස් ප්‍රියන්ත

ඒ. ජේ. ඒ. අබේනායක

පොලිස්පති පුටුවේ ප්‍රථම රාජකාරිය උසාවිය හමුවේ

පොලිස්පති ධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම රාජකාරිය ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (27දා) උදෑසන කොළඹ උපරිමාධිකරණය හමුවේ පෙනී සිටියේය.

උපරිමාධිකරණය හමුවේ පෙනී සිටිමින් දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් දැනුම්දී තිබුණේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට යම් පුද්ගලයකු කැඳවනු ලබන අවස්ථාවේ අදාළ පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට චක්‍ර ලේඛයක් නිකුත් කරන බවයි.

එම වාර්තාවට අනුව මෙම කරුණට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේ වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටි පොලිස්පතිවරයා තම ප්‍රථම රාජකාරිය ලෙස අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව මෙම චක්‍රලේඛයට අදාළ පිටපතක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නියම කරන ලදී.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment