ගමෙන් නැඟි සදහම් රිවිකිරණ

64

බත්තරමුල්ල, මයුරපාද පිරිවෙන්පති ආචාර්ය වලේබොඩ ගුණසිරි හිමිපාණෝ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලැබීම උන්වහන්සේගේ ආගමික, සාමාජීය, අධ්‍යාපනික මෙන්ම ජාතික මෙහෙවර අගය කිරීමකි. 1954 පෙබරවාරි 28 වැනි දින බළන්ගොඩ වලේබොඩ සුන්දර ගම්මානයේ කෝරළකන්ද විදානලාගේ මොහොට්ටිහාමි ගම්ප්‍රධානී උපාසක මහතා සහ මහත්මියගේ දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ සිව් වැනියා ලෙස උන්වහන්සේ උපත ලැබූහ. මෙගොඩ වලේබොඩ හා ලන්දෙවත්ත පාසල්වලින් මූලික අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයෙනි. 1977 පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, 1985 කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබන උන්වහන්සේ 2006 වර්ෂයේ දී ආචාර්ය උපාධියෙන් පිදුම් ලබති.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භ වී වසර සියයක් (100) පිරීම නිමිත්තෙන් කුලදරුවන් පන්සීයක් පැවිදි කිරීමේ පුණ්‍යකර්මය 1964 දී පැවැත්වෙන අතර එදවස පැවිදි බිමට පත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 10කි. උන්වහන්සේගේ ශාසනික ගමන්මඟ ප්‍රභාමත් කිරීමට ආශිර්වාදය හා ශක්තිය ලබාදුන් බද්දේගම විමලවංශ අනුනාහිමියෝ උන්වහන්සේගේ ගුරුදේවෝත්තමයෝ වූහ.

1980 දී මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට පිවිස 1986 දී මූලික පිරිවෙණේ පරිවේණාධිපති ලෙසත්, 1988 දී මහ පිරිවෙණේ පරිවේණාධිපති ධුරයටත් පත් වෙති. 2006 වර්ෂයේ ලෝක ගුරු දිනයේ දී හොඳම විදුහල්පතිවරයාට ලැබෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්මානයට හිමිකම් කියති.

1980 බත්තරමුල්ල මයුරපාද පිරිවෙණේ අධිපති ධුරයට පත්ව වසර 43ක කාලයක් තුළ මෙම පුණ්‍ය භූමියේ ඇති කර ඇති සංවර්ධනය උන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයත් නොපසුබට උත්සාහයේත් ප්‍රතිඵලයකි. එම ප්‍රයත්නයන්හි දී ශක්තිමත් ජීවනීය පදනම වී ඇත්තේ තම දායක දායිකාවන්ගේ ආගමික සැදැහැති ගුණය වර්ධනය කරමින් යහමග යැවීමට නාහිමියන් විසින් දරන ලද උත්සාහය යි. මයුරපාද පිරිවෙන් බිම සැදැහැති ආගමික සංකේතයක ජීවයක් කිරීමට උන්වහන්සේ සමත් වූවෝ ය. මයුරපාද පිරිවෙන් දායක සභාව සහ මෙම පරිශ්‍රයේ අධ්‍යාපනය ලද ආදි සිසුන් අනුනාහිමියන් වෙත දක්වන කෘතවේදී ගෞරවණීයභාවය මෙන්ම කැපවීම සසුන පිළිබඳ බලාපොරොත්තු දල්වයි. එය මෙම පුණ්‍යභූමියේ ජීව ගුණය මෙන්ම නාහිමියන්ගේ නිකැළැල් සේවාවේ උදාරත්වයේ ප්‍රතිඵලය යි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් පාලක මණ්ඩලයේත්, බෞද්ධ ආගමික උපදේශක සභාවේත්, අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක සභාවේත්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආගමික උපදේශක සභාවේත් සේවය කරමින් ඉටු කර ඇති සේවය අමරණීය වූවකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, උත්තරීතර සංඝ සභා සාමාජික, සංඝාධිකරණ විනිසුරු, සමාජ සංවර්ධන සභාවේ මහා ලේඛකාධිකාරී මෙන්ම නියෝජ්‍ය ලේඛකාධිකාරීවරයා ලෙස සසුනේත්, නිකායේත් චිරස්ථිතියට ඉටු කරන ලද මෙහෙවර ගෞරවයට පාත්‍ර වූවකි. ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට සමත්ව සිටින අභිනව අනුනායක හිමිපාණෝ බුදුවදන අනුව කටයුතු කරති. බහුජන හිතසුව පිණිස ම කටයුතු සලසති.

සුනාමි, ගංවතුර, සුළි සුළං, යුද්ධ මෙන්ම වසංගත ඇතුළු ජාතික ආපදාවල දී සහන වැඩසටහන් දැවැන්ත අයුරින් සංවිධානය කිරීමට දායක සභාව මෙහෙයවමින් උන්වහන්සේ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග, ඉටු කරන මෙහෙවර සැබැවින්ම පරමාදර්ශයකි. පර්යන්ත ගම්වලට වැඩම කරමින් ජන ජීවිතයේත්, සසුනේත් උන්නතියට සේවය සලසති. ඉතා ඉහළ විනයකින් යුතුව තම භික්ෂු ජීවිතය උත්තරීතර තලයක පවත්වා ගනිති. ජනමාධ්‍ය ආයතනවලට වැඩම කරමින් දහම් දෙසති. ධර්ම සාකච්ඡා පවත්වති. ජනමනස මැනවින් තේරුම් ගනිමින් අරුත්බර ගැඹුරු දහම සරලව පැහැදිලි කර දීමට ඇති හැකියාව උපන්ගමෙන් ලබාගත් ශක්තියකි. එය ගුරු ඇසුරෙන් මැනවින් වර්ධනය කරගෙන සිටිති.

අගනුවර කොතෙක් පිළිගැනීම්වලට ලක්ව සිටිය ද, වලේබොඩ උපන්ගම අමතක නොකළෝ ය. ගමේ විහාරස්ථාන දියුණුවට කටයුතු කරති. ලන්දෙවෙත්ත පුරාණ විහාරය ගොඩනැගීම ඊට උදාහරණයකි. මංමාවත් සංවර්ධනයට දිරිදෙති. නිරහංකාර පැවැත්මෙන් සදහම් මග වඩිමින් ගමට, රටට ගෞරවයක් ම වෙති.

තම දායක පිරිස, විහාරස්ථානය හා සබැඳි විවිධ පුහුණු වැඩසටහන් මෙන්ම, මාලබේ ශ්‍රී විමලාරාමය දායක දායිකාවන්ගේ සැදැහැති ආගමික වටිනාකම්වලින් සුරක්ෂා කොට සුපෝෂණය කිරීමට කැප කිරීමකින් යුතුව ඉටු කරමින් ඉටු කරන මෙහෙවර ගෞරවයට පාත්‍ර වූවකි. ජාතික ගැටලුවල දී පෙරමුණ වැඩම කරති. ඒ සෑම තැනකදීම භික්ෂූන් වහන්සේට නියමිත ආගමික සීමාව ඉඩහසර මැනවින් තේරුම් ගනිමින් කටයුතු කිරීම අගය කළ යුත්තකි. කිව යුත්ත ඍජුව ප්‍රකාශ කරති. පුද්ගලයාට නොව වරද දුරු කරවා ගැනීමට උපදෙස් දෙති. මග පෙන්වති. සඳහම් මඟම වඩිති.

මුණිසිරිපා පියසේ, රාවණ යුගයේ මතක සැමරුම්, සටහන් ඇති බලංගොඩ, වලේබොඩ ගම්මානයේ ජනිත ආගමික ප්‍රබෝධයේ නවෝදයේ රිවිකිරණ උන්වහන්සේ ය. සිරිලක සඳහම් ප්‍රදීපස්ථම්භය උත්තරීතර තැනකට පත්ව, රටට මඟ කියන මහ තෙර නමක් බවට පත්ව සිටීම ගමට ආඩම්බරයකි. උන්වහන්සේ අද ගමට පමණක් නොව රටට දේශයට අයත් මහ තෙරනමකි. බුදු සසුන එකලු කරමින් මිනිස්කම අවදි කරන, දේශය පුබුදු කරන උන්වහන්සේගේ සදහම් කිරණ දසත පැතිරෙන මෙහෙවර ඉටුකිරීමට දිගාසිරි පතමි.

මහාචාර්ය කමල් වලේබොඩ

advertistmentadvertistment
advertistmentadvertistment