වැඩි කළ බැංකු පොලියෙන් පීඩාවට පත් අයට සහන දෙන්න බැංකුවලට උපදෙස් දුන්නා

139

පසුගිය කාලයේ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සඳහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගනුදෙනුකරුවන්ට බැංකු සමග සාකච්ඡා කර සහනයක් ලබා දීමට උපදෙස් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ ශෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳව මන්ත්‍රීවරුන් විමසා සිටි අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

මෙලෙස පොලී අනුපාතිකය වැඩිවීම නිසා ඇතැම් ණය හිමියන්ගේ මුළු වැටුපම ණය වාරික සඳහා ගෙවීමට සිදුව ඇති බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මෙහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ගනුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කොට යම් සහන කාලයක් සඳහා අදාළ පොලිය පමණක් ගෙවීමට හැකි බවයි. ඒ පිළිබඳව බැංකුවලට උපදෙස් මේ වන විට ලබාදී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම මීට මාස දෙකකට පෙර 70% ක අගයක පැවැති සාමාන්‍ය උද්ධමනය මේ වන විට 66% දක්වා අඩුවී ඇති බවත් 95% ක් පැවැති ආහාර උද්ධමනය 85% දක්වා අඩු වී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පැවසීය. ඒ අනුව පවතින මූල්‍ය ප්‍රතිපත්ති සමග මෙම අගය ලබන වසර අගවන විට 4 -5% අගයකට පත්වනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ඒ මහතා පැවසීය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියකට අනුව මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම සඳහා නව පනතක් මේ වන විට කෙටුම්පත් කර අවශ්‍ය කටයුතු සිදු කරන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම බැංකු මගින් ඩොලර් රුපියල්වලට මාරු කිරීමේදී සිදුවන අපහසුතා පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමුවිය. මේ පිළිබඳව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මහ බැංකු අධිපතිවරයාගෙන් විමසා සිටි අතර එසේ ප්‍රමාදයන් වීමට හේතුවන කිසිදු උපදෙසක් මහ බැංකුව ලබා දී නොමැති බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය. මේ අනුව ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය උපදෙස් බැංකුවලට ලබා දෙන ලෙස ඇමැතිවරයා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ වාර්තාවකට අනුව ආයතන 126 කින් 22 ක් අවුරුදු 5 කට වැඩි ප්‍රමාණයක් වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොමැති බවද ඇතැම් වාර්ෂික වාර්තා ලබා දීම වසර 7 ක් පමණ ප්‍රමාද කර ඇති ආයතන පවතින බවද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී පැවසීය. මේ අනුව ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන බැවින්ද නියමිත කාලය තුළ වාර්ෂික වාර්තා භාරදීම පිළිබඳ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන් බව රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර සුමිත්‍රාරච්චි, සහන් ප්‍රදීප් විතාන යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශයීය සහ ඒ යටතේ ඇති ආයතනවල නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment