රාජ්‍ය කාරක රවි වෘශ්චිකයට ඔබට සහ රටට කෙසේද?

1715

නොවැම්බර් මාසයේ මැද වනවිට ඉතා වැදගත් ග්‍රහමාරු කිහිපයක් සිදුවිය. ඒ අතර චන්ද්‍ර ග්‍රහණයක් ද විය. මේ උදාවූ ග්‍රහ රටාව වත් පෙරට වඩා යම් සහනයක් ඇති කරවයි ද? යන්න බොහෝ දෙනාගේ ප්‍රශ්නයක් වී තිබේ. මේ නිසා සිදුවූ ග්‍රහමාරු සමග ඔබට සහ රටට විය හැකි දේ පිළිබඳ විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.

නොවැම්බර් 16 දා රාත්‍රී 7.15 ට රාජ්‍ය කාරක රවි ග්‍රහයා, මාසයක් පුරා නීචව ගමන් කළ තුලා රාශියෙන් මිදී වෘශ්චික රාශිගත වීම සිදු විය. ඒ වනවිට ග්‍රහ රාජ්‍යයේ ලේකම් ලෙස සලකන බුධ සමග සිකුරු ද වෘශ්චික රාශියට ප්‍රවිශ්ට වී සිටිති. පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සිදු වූයේ නොවැම්බර් 7 වැනිදාය. මේ වනවිට රවි, බුධ, සිකුරු යන ග්‍රහයන් ශ්‍රී ලංකාව නිවේදනය කරන කුම්භ ලග්නය හිමි කේන්ද්‍රයේ කර්මස්ථානයේ බලවත්ව ගමන් කරයි. මේ අතර ග්‍රහ රාජ්‍යයේ සෙන්පති වන කුජ ග්‍රහයා හතරවැන්නේ වක්‍රව ගමන් කරයි. ලෝකායන කේන්ද්‍රයක දහවැන්නෙන් රජය ද හතරවැන්නෙන් විපක්ෂය ද නිවේදනය වේ.

මේ තත්ත්වය මත වසර 2023 මාර්තු පමණ දක්වා විපක්ෂයේ භූමිකාව ශක්තිමත්ව පෙනෙනවා ඇත. විරෝධතා වර්ධනය වන අතර විපක්ෂයේ විවිධ පක්ෂ අතර ද පෙරට වඩා සමගි සම්පන්න බවක් දැකිය හැකි වන්නේය. මහජනතාව අතර ද ප්‍රකෝපකාරී ක්‍රියා, ප්‍රචණ්ඩත්වය ඉහළ යෑමට ඉඩ තිබේ. කුජ සහ සිකුරු අතර පවතින අශුභ දෘෂ්ටිය නිසා කාමාපරාධ ද අසන්නට ලැබේ. ඉතා ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයක් බව පෙනේ. ඉදිරි සති දෙකක පමණ කාලය ද වැසිබර කාලගුණයක් පවතින බව ද ග්‍රහචාරය පෙන්වයි.

දහවැන්නේ රවි, සිකුරු සහ බුධ බලවත්ව සිටී. රාජ්‍ය කාරක රවි දිග්බල වීම නිසා පාලක පක්ෂයට ද යම් ශක්තියක් ලැබෙන බව පෙන්වයි. දැනට විදේශ රටවලින් අපේක්ෂා කරන ණය සහන හා වෙනත් ආධාර උපකාර ලබා ගැනීමට රජයට අවස්ථාව නැති වන බව පෙනේ. රාජ්‍ය නායකයාට ද අන් අයගේ සහයෝගය ඇතිව පාලන කටයුතු කරගෙන යෑමට අපහසු නොවනු ඇත. නමුත් කුජ නියෝජනය කරන රතු පාට විපක්ෂය දැඩිව ක්‍රියාත්මක වනවා ඇත. උදාවන මාස දෙකක කාලය රවි බලවත්ව ලංකා කේන්ද්‍රයේ දහවැන්නේ හා එකොළොස් වැන්නේ ගමන් කරන නිසා පාලන කටයුතුවල යෙදෙන අයට පරිපාලන නිලධාරීන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, අධ්‍යාපන බලධාරීන්, කලා ක්‍ෂේත්‍රයේ නායකයන් වැනි අයට සුබදායක බව පෙනේ.

මේ අතර වසර මැද සිදුවන විවිධ ග්‍රහමාරුවලට වඩා අප්‍රේල් මස 14 දා සිදුවන සංක්‍රාන්ති කේන්ද්‍රය රට පිළිබඳ සලකා බැලිමේදී වඩාත් වැදගත් සහ ප්‍රධාන වන්නේය. ඒ අනුව පසුගිය අප්‍රේල් 14 දා රවි මේෂ රාශියට මාරු වූ සංක්‍රාන්ති කේන්ද්‍රය උදා කළේ වෘෂභ ලග්නය බවත් එහි බලපෑම වර්ෂයක කාලයකට බලපාන බවත් සැලකිය යුතු වේ. ඒ අනුව පැවැති රජයට බරපතළ අපල ඇතිකරන බව රවි දොළහේ දුර්වල වීමෙන් නිවේදනය වී තිබිණි. මෙම ග්‍රහ බලය 2023 අප්‍රේල් 14 දා දක්වා තිබේ.

විවිධ ග්‍රහමාරු හෝ බලපෑම් මත ජනතාවට ශුභාශුභ ඇති කරනවා ද යන්න මෙහිදී සලකා බැලිය යුතු වේ. අංගුත්තර නිකායේ “අධම්මික රාජ’ සූත්‍රයේ මෙසේ පෙන්වාදී තිබේ.

අධම්මික රාජ සූත්‍රයට අනුව “යම් කාලයක රජවරු අධාර්මික වෙත් ද ඒ කාලයේ රාජකාරියේ නියුක්ත පුරුෂයෝ ද අධාර්මික වෙති. ඒ අනුව බමුණෝ ද නියම්ගම් වාසීන් ද අධාර්මික වෙති. නියම්ගම් වැසියන් අධාර්මික වූ කල්හි චන්ද්‍ර, සූර්යයෝ විෂමව ගමන් කරති. මේ නිසා නැකැත් තරු ද විෂම වී රෑ දාවල් ද විෂම වෙති. වාතයෝ විෂමව හමත් එවිට දෙවියෝ කිපෙති. දෙවියන් කුපිත වූ විට වලාකුළු මනාව ධාරා (වැසි) නොහෙලත්. මේ නිසා විෂමව පැසෙන ශස්‍ය අනුභව කරන මනුෂ්‍යයෝ අල්පායුෂ්ක වූවාහු, දුර්වර්ණ වූවාහු, දුර්වල වූවාහු, බොහෝ ලෙඩ ඇත්තෝ වෙති.”

මෙම සූත්‍රයට අනුව පෙනෙන්නේ එකම හෝ මූලික හේතුව ග්‍රහ බලය නොවන බවය. ග්‍රහ බලය විෂම වීමට මූලික හේතුව මිනිසුන්ගේ ක්‍රියාකාරකම් බවත්, මිනිසුන් අධාර්මික වීමට හේතුව රජු අධාර්මික වීම බවත් පෙන්වයි. මේ සියල්ල බුදුන් වහන්සේගේ අදහසයි. මේ ගැන සියලු දෙනාම සැලකිලිමත් විය යුතුයි.

“දේවෝ වස්සතු කාලේන” යන ගාථාව තුළ මේ ප්‍රාර්ථනය මැනවින් පෙන්වයි.

කෙසේ නමුත් වත්මන් ග්‍රහචාරය සමහර ලග්නවලට සුබ පලත්, සමහරකට තරමක අසුබ පලත් උදා කරන බව පෙනේ. විශේෂයෙන් රවි වෘශ්චික රාශියේ ගමන් කරන කාලය ලග්න හතරකට සුබදායක වෙයි. ඒ පහත පරිදිය.

මේෂ

ලග්නයෙන් අටවැන්නේ රවි ද දොළොස්වැන්නේ ගුරු ද ගමන් කරන නිසා මේෂ ලග්න හිමියන් ශරීර සනීපය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වේ. ඌෂ්ණාධික රෝග, නීතිමය ගැටලු හා උසස් අය අමනාපවීම වැනි බාධා ඇතිවීමට ඉඩ තිබේ. මාසයක කාලය විශේෂයි. පූජක පක්ෂයේ සිල්වත් කෙනකුට ඇස්කණ්ණාඩියක් පරිත්‍යාග කිරීම, සූරිය පිරිත භාවිතා කිරීම මගින් අපල දුරු කර ගත හැකි වන්නේය.

වෘෂභ

රවි මාරුව මිශ්‍රපලදායක වේ. හත්වැන්නේ රවි ගමන් කරන නිසා අඹු-සැමි සමගිය රැකගැනීමට ඉවසීමෙන් කටයුතු කරන්න. මංගල යෝජනාවලට බාධා පවතී. නමුත් එකොළහේ ගුරු බලවත්ව ගමන් කරන නිසා හිතවතුන්ගේ උදව් ලැබේ. ආදායම යහපත් වේ. රැකියා ව්‍යාපාර දියුණුවට කරුණු යෙදේ. ඉරිදා දිනවල පහන් ආලෝක පූජාවන් කිරීම මගින් ශුභඵල උදාවනවා ඇත. විදේශ ගමන් පිළිබඳ තිබූ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට කරුණු යෙදේ.

මිථුන

සතුරන් හෝ තරගකරුවන්ගෙන් ජය ලැබීමට හැකියාව ලැබේ. උත්සාහය ධෛර්යය වැඩි වේ. අසනීප තිබුණේ නම් සුව අතට හැරේ. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. ධන ලාභ, වස්තු ලාභ ලැබේ. නමුත් ශනි ඒරාෂ්ටක අපල තත්ත්වයන් ද පවතින නිසා, ශරීර සනීපය රැකගැනීමට උනන්දු වීම වැදගත්ය. අසරණ රෝගීන්ට ඖෂධ පරිත්‍යාග කිරීම, ඖෂධ පූජා මගින් ශනි අපල දුරු වේ. කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කරන්න.

කටක

රවි මාරුව කටක ලග්න හිමියන්ට ද මිශ්‍රඵලදායක වනවා ඇත. තරමක බාධා ඇති කළත් ගුරු නමවැන්නේ බලවත්ව ගමන් කරන නිසා ඒ බාධා ජයගත හැකි වන්නේය. නමුත් බඩේ අමාරු, ඌෂ්ණාධික රෝග, දරුවන් නිසා අමතර වියදම් යෙදීම, ඉගෙනීමට බාධා වැනි අපල ඇතිවිය හැකියි. ධජග්ග පිරිත භාවිතා කිරීම, අටපිරිකර පූජා කිරීම හා බෝධි පූජා තබා ප්‍රදේශාධිපති දෙවියන්ට භාර හාර වීම සුබදායකයි.

සිංහ

ගෘහ ජීවිතය පිළිබඳ තරමක බාධා ඇතිවීමට ඉඩ තිබේ. ගෙදර වියදම් ඉහළ යා හැකි නිසා පවුලේ වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වන්න. රුධිරගත සීනි, මේදය වැනි රෝගාබාධ තිබේනම් නිසි ලෙස ප්‍රතිකාර ගැනීම මැනවි. නමුත් කුජ බලවත්ව ගමන් කරන නිසා මේ බාධා ජය ගැනීමට තරම් ධෛර්යය හා ශක්තිය පවතී. ආලෝක පූජා පැවැත්වීම හා සූරිය පිරිත භාවිතා කිරීමෙන් ශුභඵල ඇතිකර ගත හැකි වේ.

කන්‍යා

ලග්නයෙන් තුන්වැන්නට රවි මාරුවීම සුබපලදායක වේ. උත්සාහය හා ධෛර්යය ඉහළ යයි. උසස් අයගේ උදව් ලැබේ. නීතියේ පිහිට ලැබේ. ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. මංගල යෝග උදා වේ. අඹු-සැමි සමගිය ඇති වේ. බිරිඳ හෝ සැමියාට ද සුබදායක වේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. හිතේ සතුට ඇති වේ. දරුලාභ ලැබේ. රාහු දශා ගතකරන අය චන්ද පිරිත භාවිතා කරන්න. සුබදායක වේ.

තුලා

රවි දෙවැන්නට මාරුවීම නිසා පසුගිය මාසයට වඩා තරමක සුබපල උදාකරයි. නමුත් වියදම් ඉහළ යෑමට ඉඩ තිබේ. පවුලේ වියදම් පාලනය කර ගැනීමට උනන්දුවීම වැදගත් ය. රැවටිලිවලට අසුවිය හැකි නිසා ප්‍රවේශම්වන්න. ගුරු හයවැන්නේත්, කුජ අටේත් ගමන් කරන මේ කාලය ජන්ම පත්‍රයට අනුව අදාළ ග්‍රහ ශාන්තිකර්ම කර ගැනීමට යොමුවීම වැදගත් ය. ලේ දන්දීම, මරණයට කැප වූ සතුන් නිදහස් කිරීම වැනි ශාන්තිකර්ම ශුභඵල උදාකරයි.

වෘශ්චික

ගතවූ මාසයට වඩා තරමක සහනදායක බව මේ මාසය තුළ උදාවනවා ඇත. රැකියා බාධා ඉවත්වීම, අසනීප තිබුණේ නම් සුව අතට හැරීම බලාපොරොත්තු විය හැකි වේ. එහෙත් හිසේ ඌෂ්ණාධික බව, පියාට අපල වැනි බාධා මතුවීමට ඉඩ තිබේ. ගුරු පස්වැන්නේ ගමන් කරන නිසා තදබල අපල ඇති නොවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විවාහ ස්ථිර වේ. ප්‍රසිද්ධ සිද්ධස්ථානයක ආලෝක පූජා පවත්වා දෙවියන්ට පින් දෙන්න. මෝර පිරිත භාවිතා කරන්න.

ධනු

රවි ග්‍රහයා සමඟත් සිකුරු සමඟ බුධත් දොළහේ ගමන් කිරීම නිසා සාර්ථකව කරගෙන ගිය කටයුතුවලට තරමක බාධා ඇතිවීමට ඉඩ තිබේ. වාසනාව ගැන නොව තමන් ගැනම විශ්වාසය තබා දැඩි ආත්ම ධෛර්යයකින් යුතුව කටයුතු කිරීමෙන් ජය ලැබේ. විදේශ ගමන් සාර්ථක කර ගැනීමට කරුණු යෙදේ. ඌෂ්ණාධික රෝගවලින් ද ප්‍රවේශම් විය යුතුය. ඇස්කණ්ණාඩි පරිත්‍යාග කිරීම, සිසිල් පැන් පූජාව, සූරිය පිරිත භාවිතා කිරීම මගින් අපල දුරුකර ගත හැකි වේ.

මකර

රවි මාරුව, මකර ලග්න හිමි අයට සුබදායකයි. සමාජයේ තිබූ ගෞරවය හා පිළිගැනීම ඉහළ යයි. උසස් අය හඳුනාගැනීමට අවස්ථාව උදා වේ. ගෞරව, සැලකිලි ලැබේ. ආදායම් මාර්ගවල තිබූ බාධා ඉවත් වේ. රැකියා නැති අයට රැකියා ලැබේ. වාසනාව උදා වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. ශනි ලග්නයේ ගමන් කරන නිසා ශරීර සෞඛ්‍යය රැකගන්න. අසරණ අයට පරිත්‍යාග කරන්න. කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කරන්න.

කුම්භ

කුම්භ ලග්න හිමියන්ගේ ලග්නයෙන් දහවැන්නට රවි මාරුව සිදුවීම සුබපලදායකයි. පසුගිය දිනවල තිබූ ගැටලු විසඳේ. රැකියා ලාභ ලැබේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්වීමකට ද ඉඩ තිබේ. උසස් අයගේ උදව් ලැබේ. නම ප්‍රසිද්ධ වේ. ආදායම් මාර්ගවල ද තත්ත්වය සතුටුදායකයි. නමුත් ශනි අපල තත්ත්වයන් ද පවතින නිසා සෙම් රෝගවලින් ප්‍රවේශම් වන්න. අසරණ වැඩිහිටි අයට උපකාර කිරීම ද මෛත්‍රී භාවනාව ද ශාන්තිකර්ම වේ.

මීන

මීන ලග්න හිමියන්ට මිශ්‍රඵලදායක වේ. නමුත් ගතවූ මාසයට වඩා සතුටුදායක බවක් පෙනේ. අසනීප තිබුණේ නම් සුව අතට හැරේ. ආගම දහමට හිත යොමු වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. උසස් අය සමග ප්‍රවේශමෙන් කටයුතු කරන්න. දිනපතා ආගමික වතාවත් කර සූරිය පිරිත භාවිතා කරන්න. ආලෝක පූජාව කරන්න. සිල්වත් උපාසක පිරිසකට ගිලන්පස දන් දෙන්න. අපල දරු වී ශුභඵල ලැබේ.

රාජ්‍ය කාරක රවි වෘශ්චිකයට ඔබට සහ රටට කෙසේද?

ජ්‍යොතිර්වේදී කෑගල්ලේ – සුනිල් කුමාර ගම්ලත්
දු.ක. 0771234313

advertistmentadvertistment
advertistmentadvertistment