රාජපක්ෂවරුන් කොල්ලකෑ ජාතික ධනය වහාම භාණ්ඩාගාරයට ලබා ගන්න  

359
  • ඕමල්පේ සෝභිත හිමියෝ ජනපතිගෙන් ඉල්ලති

මෙරට ජාතික ධනය රාජපක්ෂවරුන් විසින් මහා පරිමාණයෙන් කොල්ලකෑ බවට සාධක සහිතව ඔප්පු වී ඇති බැවින්, එම සොරකම් කළා යැයි සැලකෙන මුදල් සම්භාරයන් වහාම ලබාගෙන රාජ්‍ය භාණ්ඩාගාරයට යොමු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ඊයේ (05 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

මේ මගේ අයියා, මේ මගේ පුතා, මේ මගේ බෑනා, ඥාතියා හෝ හිතවතා යැයි කියමින් නොසිට ස්වාධීනව රට ගැන සිතා තමන්ගේ තනතුරේ වගකීම සහ ගෞරවය ගැන ද සිතමින් කොල්ලකෑ බවට ඔප්පු වී ඇති ධනය නැවතත් රටට ලබා දීමට ජනපතිවරයා මැදිහත්ව ක්‍රියා කළ යුතු බව ද උන්වහන්සේ පැවසූහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේ ද කියා සිටියහ.

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපි ඉතාමත් කරුණාවෙන් කියනවා ඔබතුමා කෙරෙහි රටේ ජනතාවගේ කලකිරීම දිනෙන් දින වැඩි වෙමින් පවතින බව. එම තත්ත්වය නැතිකර ගනිමින් ඔබතුමාට ගෞරවනීය අවස්ථාවක් ළඟාකර ගන්න නම් මේ ලැබුණු වාසනාවන්ත අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතුයි.

ඔබතුමා අතින් පසුගිය කාලයේ විශාල වැරදි සිදු වුණා. ඔබතුමා සමාව ඉල්ලුවාට බෑ. ඒවායෙන් නිවැරදි විය යුතුයි. මහජන මතයට නැමිය යුතුයි. ඒ වගේම අංක එකට අතිපූජනීය මහනායක හිමිපාණන් වහන්සේලාගේ නියමයන් පිළිගත යුතුයි. චෝදනා ඇති පැන්ඩෝරා පත්‍රිකා ඇතුළු දූෂිත ගනුදෙනු පිළිබඳ නිවැරදිව සොයා බැලිය යුතුයි.

ජනාධිපතිවරයා යුද පුහුණුව ලැබූ එඩිතර දැක්ම, ශක්තිය, ගෞරවය, ඇති සෘජු අයෙක්. දැන් පැමිණ තිබෙන්නේ එම ලක්ෂණ ඔප්පු කර පෙන්වීමටයි. එසේ කළොත් මේ රටේ අර්බුදය විසඳේවි. ලෝකය, රට ගැන, ඔබ ගැන දැඩි විශ්වාසයක් නැවත ඇති කර ගනිවි. ශ්‍රී ලාංකිකයන් එතෙර සිට උපයන මුදල් ලක්ෂ ගණනින් යළි මේ රටට එවාවි. මේ අවසථාවෙන් ප්‍රයෝජන ගෙන ජනාධිපතිවරයා ජාතික වීරයකු වී ඉතිහාසයේ නම තැබීමට ක්‍රියා කරනු ඇතැයි අප බලා සිටිනවා.”

පාහියංගල ආනන්දසාගර, අගලකඩ සිරිසුමන, වනවාසී රාහුල යන හිමිවරු ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment