රටම බරපතළ ව්‍යසනයක: ආණ්ඩුවට කන් ඇහෙන්නේ නැති ගානයි!

139

සජිත්ගෙන් ආණ්ඩුවට ජනතා ප්‍රශ්න මාලාවක්

මේ වනවිට මුලු රටම බරපතළ ව්‍යසනයකට වැටී ඇති බවත්, ජනතා පීඩනය උග්‍රවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ සියල්ල සිදුවෙද්දීත් ආණ්ඩුව නෑසූ කන්ව සිටින බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අංක (05) 27/2යටතේ ආණ්ඩුවෙන් ප්‍රශ්න 18ක් විමසීය. ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලැබූ ප්‍රශ්න මෙසේ විය.

වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී හා දූෂිත කළමනාකරණය රටේ ජනතාව අන්ත අසරණ භාවයකට පත් කෙරුණි. බඩගින්න, නොනවතින පෝලිම්, අඳුර හා උග්‍ර ජීවන වියදම දරාගත නොහැකි වූ පුරවැසියන් තම දුක් ගැනවිලි සඳහා සංවේදී නොවන ආණ්ඩුවට එරෙහිව මහපාරට පැමිණියේය. තැන තැන මතු වූ එම විරෝධතා අද “ගෝඨා ගෝ ගම” නොනවතින ආණ්ඩු විරෝධී අරගලය දක්වා දිග්ගැස්සී ඇත. එහෙත් ආණ්ඩුව තවමත් නින්දේය. ජනතා ප්‍රශ්න එසේම ය.

එබැවින්, පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිලිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

  1. රටේ විරැකියා ප්‍රතිශතයේ වර්තමාන අගය කොපමණ ද?
  2. පසුගිය වසර 2 තුළ රටේ සමස්ත ජනගහනයෙන් කුමන ප්‍රතිශතයක ජනතාවක් දුගීභාවයට වැටී තිබේද?
  3. 2022 මාර්තු මස වන විට දළ දේශීය නිෂ්පාදිතයට(ද.දේ.නි.) සාපේක්ෂව රටේ සමස්ත ණය බර (රාජ්‍ය සමාගම්ද ඇතුළුව) කොපමණ ද?
  4. 2019 ට සාපේක්ෂව එය කොපමණ ප්‍රමාණයක වැඩිවීමක් ද?
  1. වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ඉහළ ආදායම් ලබන පුද්ගලයින්ට බදු සහන ලබාදීම මගින් රජයේ ආදායම කොපමණ ප්‍රමාණයකින් අඩු වූයේ ද?
  2. ඉහත බදු සහනය තුළින් ඍජු බදු ගෙවන්නන් සහ වක්‍ර බදු (එකතු කළ අගය මත බදු) ගෙවන්නන්ගේ කොපමණ සංඛ්‍යාවක අඩු වීමක් සිදුවී ද?
  3. 2019 ට සාපේක්ෂව පසුගිය වසර දෙක තුළ පිළිවෙළින් රජයේ ආදායමට සාපේක්ෂව රජයේ ණයවලට ගෙවන පොලිය කොපමණ ප්‍රතිශතයකින් පවතී ද?
  4. මෙවැනි රජයේ ආදායමට සාපේක්ෂව ඉහළ ණය පොලී ප්‍රතිශතයක් ගෙවීම් සිදුකරන වෙනත් රටක් තිබේ ද?
  5. 2022 අප්‍රේල් වන විට නිල වශයෙන් භාවිතා කළ හැකි නැතහොත් සත්‍ය විදේශ සංචිත ප්‍රමාණය කොපමණ ද?
  6. චීන රජය මගින් විනිමය හුවමාරු ක්‍රමය (SWAP) යටතේ ලබා දුන් යුවාන් බිලියන 10 ලබා දීමේදී පැන වූ කොන්දේසි මොනවාද? එසේම එම කොන්දේසි යටතේ මෙම SWAP පහසුකම ලබා ගැනීමට සුවිශේෂී වූ හේතු කවරේද?
  7. ඉන්දියානු රජය මගින් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ මිලදීගැනීමසඳහා ලබාදුන් ඇමරිකානු ඩොලර් බිලියන 1 ක ණය සීමාවෙන් ඉතුරුව ඇති ඩොලර් මිලියන 750ක මුදල යකඩ/වානේ ආනයනයට යොදා ගැනීමට සැලසුම් කර ඇති බව මාධ්‍ය ඔස්සේ වාර්තා වේ. එය සත්‍ය ද? එසේ නම්, එම යකඩ/වානේ ආනයනයෙන් සහන ලැබෙන්නේ වානේ කර්මාන්තයේ නියුතු කුමන ව්‍යාපාර ආයතනයන්ට ද?
  8. පසුගිය කාල සීමාවේදී දිගින් දිගටම සිදු වූ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ගෘහ ඒකකයන්ගේ සහ කර්මාන්තවල විදුලි පරිභෝජනය කොපමණ ප්‍රමාණයකින් අඩු වූයේ ද?

පසුගිය මාස 06 තුළ විදුලිය විසන්ධි කිරීම නිසා ආර්ථිකයට කොපමණ හානියක් සිදු වූයේ ද?

  1. පසුගිය කාල සීමාවේ විශාල ලෙස මිල වැඩි කිරීම නිසා මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයකට පත්ව තිබේද?නොඑසේ නම්, පාඩු නොවී පවත්වා ගෙන යෑමට තවත් කොපමණ ප්‍රමාණයකින් ඉන්ධන මිල ගණන් වැඩි කළ යුතු ද?
  2. පසුගිය මාස හය තුළ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වූ පාඩුව ආවරණය කර ගැනීම සැලසුම් කර ඇත්තේ කෙසේ ද?
  3. වර්තමානයේ නිර්මාණය වී ඇති ඉන්ධන හා ගෑස් පෝලිම් නිශ්චිතව අවසන් කර ඉන්ධන හා ගෑස් සාමාන්‍ය පරිදි ජනතාවට ලබාගත හැකි දිනය කවදාද?
  4. රජයේ පොහොර සමාගම් විසින් මෙවර යල කන්නය සඳහා රසායනික පොහොර කොපමණ ප්‍රමාණයක් ආනයනය කිරීමට සැලසුම් කර තිබේද? දැනට කඩා වැටීමකට ලක්ව ඇති වී වගාවට හා අනෙකුත් බෝග වගාවන්ට එම පොහොර ලබා දීමට අපේක්ෂා කරන මිල කොපමණ ද?
  5. පැන්ඩෝරා පත්‍රිකා මගින් වංචාසහගත ලෙස අප රටෙන් සොරාගත් මුදල් නැවත ලබා ගන්නේ කවදාද? ඒ සඳහා මේ වනවිට රජය ගෙන ඇති පියවර කවරේද?
  6. ශ්‍රී ලංකාවෙන් වංචා සහගත සහ දූෂිත ලෙස සොරා ගන්නා ලද මුදල්, නැවත අප රට වෙත ලබා ගැනීම සඳහා දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය හා මත්ද්‍රව්‍ය, අපරාධ සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) හා ලෝක බැංකුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන සොරාගත් වත්කම් ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන Stolen Asset Recovery Initiative – StAR) වැනි අන්තර් ජාතික වැඩසටහන්හි තාක්ෂණික සහාය ලබා ගැනීමට රජය කටයුතු ආරම්භ කරන්නේ කවදාද?

අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment