සංහිඳියා ක්‍රියාවලියට විශ්වාසදායක සූදානමක්

115

ජාතික සංහිඳියා ක්‍රියාවලිය සහ ඒ තුළින් මතුවන ගැටලු සම්බන්ධයෙන් රජය සැලකියයුතු අවධානයක් යොමුකරන බවක් පෙනෙන්නට තිබේ. පසුගිය වසර පහක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ නිද්‍රාශීලීව පැවැති මෙම ක්‍රියාවලියට මේ වන විට නායකත්වය ලබාදෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. 2015-19 ඔහු ආණ්ඩුවට නායකත්වය ලබාදුන් අවසන් කාලසීමාව තුළ ජාතික සංහිඳියාව සඳහා වූ අපේක්ෂාවන් උච්චතම ස්ථානයට ළඟාවිය. එකල සංහිඳියා ක්‍රියාවලියට වර්තමානයට වඩා පුළුල් සහභාගීත්වයක් පැවැතිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ විවිධ ක්ෂේත්‍රවල වගකීම භාරගත් ව්‍යවස්ථාදායක කමිටුවක් බවට මුළු පාර්ලිමේන්තුවම පත්කිරීමට එවකට අගමැති වශයෙන් වත්මන් ජනාධිපතිවරයාට හැකිවිය. යුද්ධයෙන් පසු ඇති වූ ප්‍රතිඵල සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා දිවංගත විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහ සිවිල් සමාජය ඇතුළත් කරමින් ගොඩනැගුණු උපදේශන කාර්යසාධක බළකාය විවිධ කාර්යභාරයන් ඉටුකරනු ලැබීය.

ඊට ප්‍රතිවිරුද්ධව, වර්තමාන ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය අනෙකුත් දේශපාලන සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ අඩු උපදේශන සහිතව ජනාධිපතිවරයා විසින් මෙහෙයවනු ලබන පටු ක්‍රියාවලියකි. මෙය විශේෂයෙන්ම, මෑත කාලයේ වඩාත් කතාබහට ලක්ව ඇති 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ බලතල බෙදීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකි. ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ ජනාධිපතිවරයා පමණකි. පාර්ලිමේන්තුව හරහා ජනාධිපති ලෙස තේරී පත්වීමෙන් ටික කලකට පසු, දිග්ගැස්සුණු වාර්ගික ගැටුම විසඳා අනාගත පරම්පරාවේ බර ඉවත් කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු විය. ජාතීන් අතර බලය බෙදාගැනීමේ මාධ්‍යයක් ලෙස පළාත් සභා පිහිටු වූ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි සම්පූර්ණයෙන් බලතල බෙදාහරින බවත් ඔහු පැවැසීය. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් හුදෙකලා හඬක් නැගුවේය. ඔහුට පිටුබලය දීමට මහජන සහයෝගය ඇති නායකයන් සිටින දේශපාලන පක්ෂයක් ඇත්තේ නැත.

මෙහි, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් නායකත්වය දුන් 1995-2000 කාලපරිච්ඡේදයේ සාම ක්‍රියාවලියට වඩා වැඩි වෙනසක් පවතී. ඇයගේ පක්ෂයේ සහ සභාග හවුල්කරුවන්ගේ සහයෝගය ඇයට හිමිවිය. ඔවුහු එක කණ්ඩායමක් ලෙස එකට සිටගෙන පණිවිඩය ජනතාව අතරට ගෙනයෑමට උත්සාහ කළහ. එම කාලය තුළ වැඩි වැඩියෙන් ජනතාව බලතල බෙදීමට කැමැත්ත පළ කළ අතර ෆෙඩරල් සංකල්පය පවා වඩාත් පිළිගත හැකි විකල්පයක් විය. එහෙත් කුමාරතුංග ජනාධිපතිවරියට සාර්ථක වීමට නොහැකි විය. ඇයව ඝාතනය කිරීමට පවා උත්සාහ කළ යුද බලයේ උච්චතම ස්ථානයේ සිටි එල්ටීටීඊය සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා කෙටුම්පත පුළුස්සා දැමූ විරුද්ධ දේශපාලන පක්ෂ විසින් ජනාධිපතිට හා ඇගේ ආණ්ඩුවට විරුද්ධ විය. කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ දී, ජාතික සංහිඳියාව ඇතිකිරීමේ උත්සාහයේදී ජනාධිපති වික්‍රමසිංහ මහතාට මුහුණදීමට එතරම් ප්‍රබල විරුද්ධ බලවේග සමූහයක් නොමැත.

පැහැදිලි දැක්ම

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැටලු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුව ඇමැතීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීති සම්පාදනය කිරීමත්, ඒවා සංශෝධනය කිරීමත් පාර්ලිමේන්තුවට පැවරී ඇති බැවින් තීන්දු තීරණ ගතයුත්තේ පාර්ලිමේන්තුව විසින් බව ඔහු පවසා තිබේ. ජනවාර්ගික ගැටුම ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ශක්තිය වන්නේ, ඔහුගේ දැක්ම පිළිබඳ පැහැදිලිකමයි. ඔහු ප්‍රශ්නය බහුවිධ කෝණවලින් දැක ඇති අතර, එබැවින් ඔහු විසින් ගනු ලබන පියවර 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගොස් සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය, බලය බෙදාහැරීම, ඉඩම් කොමිෂන් සභාවක් පිහිටුවීම, එල්ටීටීඊ සිරකරුවන් සහ ඊට සම්බන්ධ යැයි කියනු ලබන අය නිදහස් කිරීම යන කරුණුවලින් ඔබ්බට විහිදේ. මේ සියල්ල වාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් මෙන්ම අතීතයේ තුවාල සුවකිරීම යන දෙකෙහිම අවශ්‍ය කොටස් වේ. රජය යෝජනා කළයුතු වන්නේ අතීතයට වඩා දියුණු තත්ත්වයකි. එහිදී වඩාත් සාධනීය අංශය වනු ඇත්තේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට ජනාධිපතිවරයාගේ කැපවීමයි.

මෙම අවස්ථාවේදී, ජනාධිපතිවරයාගේ යෝජනාවල මූලික අදහස් වර්ධනය කිරීම, ජනාධිපතිවරයා සහ ඔහුගේ ප්‍රධාන උපදේශක කණ්ඩායම විසින් සිදුකරන බව පෙනේ. සංහිඳියා සැලැස්මේ සංවර්ධන ක්‍රියාවලිය විවෘත හෝ පාරදෘශ්‍ය එකක් වී නැත. ‘13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි නමුත් පොලිස් බලතල ක්‍රියාත්මක කළ නොහැකිය‘ යන මතය කිසිදු දේශපාලන පක්ෂයක් හෝ සිවිල් සමාජ සංවිධානයක් විසින් ගන්නා ස්ථාවරයක් නොවේ. එය ජනාධිපතිවරයාගේම චින්තනය සහ පසුබිමේ රැඳී සිටින ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ චින්තනය බව පෙනේ. අන්තර්වාර ලේකම් කාර්යාලයක අද්විතීය ව්‍යුහය සහිත සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයද ඒ හා සමානව, දේශපාලන පක්ෂ, වින්දිතයන්ගේ කණ්ඩායම් හෝ මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන වේවා, අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ අන්තර්ග්‍රහණය හෝ විනිවිදභාවයෙන් කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් නොවේ.

දැකගැනීමට ඇති නීති කෙටුම්පත් තුළ සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයට 1983 ජූලි 24 සිට 2009 මැයි 18 දක්වා කාල රාමුවක් ලබා දී ඇත. කුතුහලයට කරුණ වන්නේ, එම ආරම්භක දිනය කළු ජූලියේ දෙමළ විරෝධී කෝලාහල ආරම්භ වූ දිනට පසුව සටහන් කර තිබීමය. එහි අවසාන දිනය ද කුතුහලය දනවන්නකි. එය යුද බිමේ තුවක්කු නිහඬ වූ දිනයයි. මෙම දින දෙක ඔවුන් තෝරා ගත්තේ ඇයි සහ ඔවුන් අත්හැර දමා ඇති කාලය පැහැදිලිවම සැකයට තුඩුදෙනු ඇත. යුදබිමේ තුවක්කු නිහඬ වූ පසු සැලකියයුතු කාලයක් සිදු වූ බලහත්කාරී අතුරුදන් කිරීම් සහ එම කාලය තුළ පවුල් විසින් බාරදෙනු ලැබූ, එහෙත් නැවත කිසිදා දැකීමට නොහැකි වූ බොහෝ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිළිබඳ චෝදනා මෙමගින් සත්‍ය වනු ඇත.

උපදේශන නොවේ

මෙම තත්ත්වය තුළ රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සලකාබැලිය යුත්තේ යෝජනා ලෙස මිස නීතියක් බවට පත් කළ යුතු අවසාන ගිවිසුම් ලෙස නොවේ. ඒවා සාකච්ඡා කිරීමට, කේවල් කිරීමට සහ සංශෝධනය කිරීමට සිදුවනු ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි නමුත්, පොලිස් බලතල ලබා නොදෙන්නේ නම්, එය පුටු දෙකක් අතර හිඳගැනීමක් වැනි යැයි ජනාධිපතිවරයාගේ අදහස විය හැකිය. එහිදී ඉඩම් බලතල වැනි මතභේදයට තුඩු දෙන අනෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් බහුතර සිංහල ජනතාවගේ සහ දේශපාලනයේ උනන්දුවක් ඇති කළ හැකි නමුත්, පොලිස් බලතල බෙදානොහරින බව පවසමින් දෙමළ ජනතාවට සහ දේශපාලනයට ආමන්ත්‍රණය කළ නොහැකිය. පොලිස් බලතල බෙදීමෙන් පළාතේ ප්‍රධාන ඇමැතිවරුන්ට පොලිසිය අවභාවිත කිරීමට අයිතියක් ලැබෙනු ඇතැයි යන කනස්සල්ල නිවැරදි නොවේ. පළාත් පොලිසිය මධ්‍යම රජයේ සහ ජාතික පොලිස් කොමිසම වැනි ප්‍රධාන ආයතනවල සම්පූර්ණ පාලනය යටතේ පවතිනු ඇත.

ඇත්ත වශයෙන්ම, පොලිස් බලතල පිළිබඳ අසත්‍ය ප්‍රචාර බහුලව පවතින අතර, 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර රජය දැවැන්ත අධ්‍යාපන වැඩසටහනක් දියත් කිරීම යහපත් වනු ඇත. සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් රජය එකවර 60 සිට 200 දක්වා පිරිසකගේ සහභාගිත්වයෙන් සාකච්ඡා සැසි දෙකක් පවත්වා ඇත. මේ හැර සිවිල් සමාජ නායකයන් සහ කුඩා කණ්ඩායම් සමඟ ද අවිධිමත් සාකච්ඡා පවත්වා ඇත. විදේශ ඇමැති අලි සබ්රි එවැනි රැස්වීම්වලදී රජය කිරීමට සැලසුම් කරන දේ විස්තර කිරීමට සහ සහභාගිවන්නන්ගෙන් ප්‍රශ්න කිරීමට පැයක් හෝ දෙකක් ගතකර ඇත. මෙම රැස්වීම් උපදේශන හෝ සාකච්ඡා ලෙස විස්තර කළ නොහැකි අතර, ඔවුන් ගැනීමට සැලසුම් කර ඇති ප්‍රගතිශීලී පියවර පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සිදුකරන සාකච්ඡාවලට වඩාත් සමාන වේ. එහෙත් ජනවාර්ගික ගැටුමට විසඳුමක් ගැන සිතීමට හෝ එය විසඳීමට මාර්ගයක් යෝජනා කිරීමට ආණ්ඩුවේ හෝ විපක්ෂයේ ජනාධිපතිවරයා හැර කිසිවකු කැමැත්තක් නොපෙන්වන බැවින් මෙය පවා අගය කළ යුතුය.

ජෙහාන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment