දකුණට සිරිපා කරුණාවයි

1062

දකුණු පළාතට හොඳම දේවල් ලබා දීමට මහින්ද රාජපක්ෂ පාලන සමයේ විවිධ පියවර ගැනුනේ අනෙක් පළාත්වලට කුඩම්මාගේ සැලකිලි ලැබෙද්දී ය. එහිදී මත්තලට ගුවන්තොටුපළක් ලැබිණ. හම්බන්තොටට වරායක් හිමිවිය. සූරියවැවට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ආදී වශයෙන් කාපට් පාරවල්, සම්මන්ත්‍රණ ශාලා, සෆාරි උද්‍යාන, සිනමා ගම්මාන ආදී මෙකී නොකී සියල්ල දකුණට ලැබිණි. එහෙත් විදුලිය සැපයීමේදී ජාතික පද්ධතියට දකුණ එක් කර නොගැණින. එය කුමන කරුණක් හෝ නිසා මහින්දට අතපසු වී ගියේය. ඒ වෙනුවට දකුණට විදුලිය ගලා ගියේ උඩවලව ද්‍රෝණියේ පිහිටු වූ සමනල වැව වේල්ලෙනි. එකී වේල්ල තනන ලද්දේ වලවේ ගඟ සහ බෙලිහුල් ඔය එක්රැස් වන දෙමෝය පිහිටි උසින් මීටර හාරසියයක පමණ ස්ථානකය. පසුගිය සති කිහිපයේම කතාබහට ලක් වූයේ වලවේ ජල හිඟය ගැනය. ඇත්තටම රට තුළ දරුණුම පන්නයේ නියඟයක් නැතත් වලවේ ජලය බතට ද නැත්නම් විදුලියට ද වෙන් කරන්නේ යන කාරණය මහ ඉහළින් කතාවිණ. විදුලි ඇමැතිවරයාට වූයේ කෘෂිකර්මයට, පානීය ජලය සැපයීමට පෙර සමනල වැවෙන් තම පළාතට විදුලිය ගැනීමට ය.

දකුණට විදුලිය දීමට 2017 දී අධිසම්ප්‍රේෂණ රැහැන් පද්ධතියක් ඉදිකරනු ලැබීය. එය 2019 ඉවර වෙන්න තිබුණ ද එය අවුරුදු හතරක් පමා විණ. ඒ මීටර් 600 ක තරමේ සිරිපාගම ඉඩම් කෑල්ලේ වන්දි ප්‍රශ්නයක් නිසාවෙනි. දවස් හතරකින් සිරිපාගම හරහා ලයින් එක හැදුවා නම් සම්ප්‍රේෂණ ලයින් එක මගින් දකුණට කිසිම අර්බුදයකින් තොරව විදුලිය ලබා දීමේ හැකියාව උදාවන්නේය. සමනල වැවට ජල පොදක් නැති වුණත් ඒ ජලය සියල්ලම ගොවිබිම්වලට දුන්නත්, දකුණට විදුලි කප්පාදුවක් නැතුව විදුලිය දෙන්න යන්නේ දවස් හතරයි. එහෙත් එය දිගින් දිගට ඇදී ගියේය. අවුරුදු හතරක් තිස්සේ පමාවූ මේ සිරිපාගම මීටර් 600 ප්‍රශ්නය විසඳීමට සිදූ වූයේ ඊයේ මහජන උපයෝගිතා කොමිසම සමග ඉඩම් අයිතිකරුවන් පැවැත්වූ සාකච්ඡාවේ ප්‍රතිඵලයෙනි. එහිදී මුලින් ඉල්ලූ රුපියල් ලක්ෂ 96ක වන්දිය ද ඉඩම් අයිතිකරුවන්ට අවශ්‍ය නොවුණි. ඒ වූ කලී ප්‍රශංසනීය පරිත්‍යාගයකි.

ඉඩමෙහි හිමිකරුවන් රත්නපුර ප්‍රදේශයේ ප්‍රභූ පවුලක සාමාජිකයින්ය. රටේ වත්මන් විදුලි අවශ්‍යතාව පිළිබඳ සැලකිල්ල දක්වමින් පොදු ජනතාවට අපහසුවක් නොවන පරිදි අඛණ්ඩ විදුලි සැපයුමකට දායක වීම සඳහා එම ප්‍රභූ පවුල මෙම එකඟතාවය පළ කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ද සතුටින් නිවේදනය කළේය. ඒ අනුව අදාළ සම්ප්‍රේෂණ රැහැන ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද ගිවිසුමක් ද අත්සන් කෙරිණ. ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජිත සැලැස්මට අනුව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පනවා ඇති විදුලි ආරක්ෂාව තත්ත්වය හා අඛණ්ඩතාවය පිළිබඳ රෙගුලාසිවලට යටත්ව රැහැන ඉදිකිරීමට ද මෙහිදී දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇත. සම්ප්‍රේෂණ රැහැනෙහි මීටර 630ක කොටසක් ඉදිකිරීමේදී අහිමි වන ඉඩම් කොටසේ වන්දිය වශයෙන් පුද්ගලික තක්සේරුකරුවන් රුපියල් මිලියන 41 ක් නිර්දේශ කර තිබුණි. පසුව ආසියානු සංවර්ධන අරමුදලේ නිර්ණායක අනුව වන්දි වශයෙන් රුපියල් මිලියන 9.6 ක් වශයෙන් ගණනය කර ඇත. එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය එකඟතාව පළ කර තිබුණේ රුපියල් මිලියන 1.69 ක වන්දි මුදලක් සඳහාය. අවසානයේ මෙම ආරවුල පරිත්‍යාගයකින් අවසන් වූයේය. ඒ පරිත්‍යාගය වූ කලී පළාතකට විදුලිය ලබා දීමට කළ ඓතිහාසික පරිත්‍යාගයක් ය. එදා මහවැලි ව්‍යාපාරයට විෂය භාර ඇමැතිවරයා වූ ගාමිණී දිසානායකගේ මහ ගෙදර ද යට විය. එපමණක් නොව තෙල්දෙණිය ගමම යටවිය. නමුත් ඉන් සිදු වූයේ අප රටේ විශාලතම වාරි ව්‍යාපාරය සාර්ථක ලෙස සහ කඩිනම්ව අවසන් කර ගැනීමේ අවස්ථාව සැලසීමය. මෙතෙක් දකුණට සමනල වැව වතුර ප්‍රශ්නය ආ විට ඩීසල් බලාගාරවලින් විදුලිය ගැනීමට සිදු වූයේ වැඩි මුදලකටය. එහෙත් දැන් එසේ කළ යුතු නැත. දින හතරකින් පහකින් සිරිපාගම හරහා ඇදෙන රැහැනෙන් දකුණ ජාතික විදුලි පද්ධතියට ලබන සතිය වන විට එක් වී අවසානය. එහෙනම් දකුණට සිරිපාගම පිහිට ලැබී අවසන්ය. ඒ සඳහා මනාපය දුන් රත්නපුර එම පවුලට අපගේ කෘතවේදීත්වය නිතැතින්ම හිමිවේ. එහෙත් එය වූවා කියා දකුණු පළාතේ අයට ද රටේම අයට ද මාසික විදුලි බිල තවදුරටත් අසහනයක්ම වන්නේය. ඊට නම් සිරිපා කරුණාවක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment