මතින් දරුවන් බේරා ගන්න අපේ ප්‍රින්සිපල් පෙරට එයි

356

පාස්පොර්ට් සිනමා නිර්මාණය ඔස්සේ සිනමාවට අවතීර්ණ වූ ක්‍රිස් ඇන්ටනීගේ දෙවැනි සිනමා නිර්මාණය වන “ අපේ ප්‍රින්සිපල් ” හි විශේෂ දර්ශනයක් පසුගියදා කොළඹ වන් ගෝල්ෆේස් හි පිහිටි පීවීආර් සිනමා සංකීර්ණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව ප්‍රමුඛ අනෙකුත් සිනමා මණ්ඩලවල නිලධාරීන්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ලංකාවේ පාසල් කිහිපයක විදුහල්පතිවරුන්, සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වූ නළු නිළියන්ද, චිත්‍රපට බෙදාහරින්නන්ගේ සංගමයේ සභාපති ඇතුළු මාධ්‍යවේදීන් රැසක්ද සහභාගි වූහ.

මෙම චිත්‍රපටයේ කාතාවට පසුබිම්ව ඇත්තේ මෑතකදී දැඩි ආන්දෝලනයට ලක් වූ පාසල් දරු දැරියන් ශීඝ්‍රයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීමේ ඛේදවාචකය හරහා සිදුවෙමින් පවතින විනාශයයි. නාගරික පරිසරයක ජීවත්වන දරුවන් ස්වකීය දෙමාපියන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වීම, සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිතා කිරීම වැනි අයහපත් ක්‍රියා නිසා අනාගතය අඳුරු කරගන්නා අයුරුත්, එම සමාජ ඛේදවාචකයෙන් දරුවන් ගලවා ගැනීමට වෙර දරන ගුරු මාතාවකගේ වීර්යය ප්‍රස්තුත කරගනිමින් “ අපේ ප්‍රින්සිපල් ” සිනමා පටය නිර්මාණය කර ඇත.

ලලිත් වරුණ රාජපක්ෂගේ පිටපතක් ඇසුරින් නිර්මාණය වූ මෙම සිනමා පටයේ රූගත කිරීම් විශ්වජිත් කරුණාරත්න සිදුකර ඇත. මනුනුවන් රූපසිංහ අංග රචනයෙන් එක්ව ඇති මෙහි කලා අධ්‍යක්ෂණය අරුණ ඩයස්ගෙනි. දිල්හානි අශෝකමාලා, ජගත් චමිල, ශ්‍යාම් ප්‍රනාන්දු, රොජර් සෙනවිරත්න, සමන්ත කුමාර ගමගේ, රුක්ෂාන්ති පෙරේරා, ශිරන්ත ප්‍රේමවර්ධන, චමින්ද බටුකොටුව, තිස්ස ගුණතිලක, පාලිත ප්‍රේමකුමාර, කණිෂ්ක රණබාහු සහ දුනීෂා පියුමි “ අපේ ප්‍රින්සිපල් ” චිත්‍රපටයට රංගනයෙන් එක්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment