සිංහල අලුත් අවුරුදුවලින් පසු පාර්ලිමේන්තුව යළි ආරම්භ වූයේ පසුගිය සතියේය. එබැවින් දුරබැහැර ගොස් සිටි, විදේශගතව සිටි බොහෝ මන්ත්‍රීවරු මේ සතිය වන විට කොළඹට පැමිණ සිටුණු දැකගත හැකි වූහ.

පසුගිය සතියේ අපේ රටේ කොයිකා අතරත් කතාබහට ලක්වුණු වැදගත්ම දේශපාලන කාරණාව වූයේ උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය විවෘත කිරීම හා ඊට සහභාගි වන්නට ඉරාන ජනාධිපතිවරයා ලංකාවට පැමිණීමයි.

ඉරාන ජනාධිපතිවරයා ලංකාවට පැමිණීම ලංකාවේ සමහර දේශපාලන කඳවුරුවලට විශ්වාස කළ නොහැකි කාරණාවක් විය. ඉරානය හා ඊශ්‍රායලය භයානක යුද්ධයකට මුල පුරා සිටින මේ අවස්ථාවේ ඉරාන ජනාධිපතිවරයා ලංකාවට පැමිණීම තුළ අනෙක් කඳවුරෙන් ලංකාවට යම් තර්ජනයක් පීඩනයක් ඇතිවේදෝ යන සැකයද සමහරු මතු කළහ. එහෙත් රජය හා ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් විශ්වාස කළේ වෙනත් කාරණාවකි.

“අපි ස්වාධීන රටක්. ඒ වගේම නොබැඳි ප්‍රතිපත්තිය අනුගමනය කරන රටක්. මා ඔය හදන්න අපිට උදව් කළේ ඉරානය. ඉතින් ඒගොල්ල ඇවිල්ලා ඒ ව්‍යාපෘතිය විවෘත කරන උත්සවයට සහභාගි වෙන එක සදාචාරාත්මක වශයෙන් වෙන කාටවත් ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ. අනිත් එක තාමත් ඒ සම්බන්ධයෙන් කිසිම රටක් විරුද්ධත්වය ප්‍රකාශ කරලත් නෑ. “මේ සම්බන්ධයෙන් කතාබහක් ඇතිවූ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ඒ ගැන මතය පළ කළේ එසේය. ඔහුගේ පැමිණීම හා විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීම ජාත්‍යන්තරයේ කිසිදු රටකට හෝ බලවේගයකට ප්‍රශ්නයක් නොවීය.

එනමුත් ජනාධිපතිවරයාගේ පැමිණීම හා ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නම් සාධාරණ ගැටලුවක් මේ වන විට නිර්මාණය වී තිබිණ. එහෙයින් ආණ්ඩුවේ ආරක්ෂක නිරීක්ෂකයන් පවා සිතුවේ ඉරාන ජනාධිපතිවරයා කොයි මොහොතේ හෝ එම සංචාරය අවලංගු කරනු ඇතිදෝ කියාය.

ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහීම් රාසි ලංකාවට පැමිණීමට පෙර පකිස්ථානයේ සංචාරය කළ බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුලින්ම කළේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් චින්තක කරුණාරත්න හරහා ඉරාන ජනාධිපතිවරයාගේ පකිස්තානු සංචාරය පිළිබඳ වාර්තාව ගෙන්වා අධ්‍යයනයක නිරත වීමය. එය අතරතුර ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විෂය භාර අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි, විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ඇතුළු අත්‍යවශ්‍ය අමාත්‍යවරු කීපදෙනෙක් ගෙන්වා මෙම සංචාරය හා උත්සවය පිළිබඳ වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට ක්‍රමෝපායන යෙදීය.

බදාදා උදේ ඉරාන ජනාධිපතිවරයාව පිළිගැනීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට යැවූ ජනාධිපතිවරයා කෙලින්ම ගියේ උමාඔය ව්‍යාපෘති භූමියටය. සෑම තැන්හිම ඉරාන ජනාධිපතිවරයාගේ හා දූත කණ්ඩායමේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති නොවෙන්නට ජනාධිපතිවරයා සියල්ල සංවිධානය කළේය.

ශ්‍රී ල නි ප අර්බුදයෙන් අධිකරණ ඇමැති බඳියි…

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව සිංහල අලුත් අවුරුදුවලින් පසුව උමාඔය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරමින් දේශපාලන කටයුතුවලට අත ගසමින් සිටියදී අපේ රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතළ අර්බුදයකට මුහුණපා සිටියේය. ඒවා කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්ව අර්බුදයයි. කවුරුන් කෙසේ කවර විග්‍රහයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල අරගලය විනිවිද දකින්නට උත්සාහ කළත් එහි සෑම පැත්තකින්ම දෘශ්‍යමාන වූයේ අභ්‍යන්තර නායකත්ව අර්බුදය බව රහසක් නොවීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් කණ්ඩායමක් වැඩ කළේ වත්මන් නායක සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අවනතවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීන පක්ෂයක් ලෙස වෙනම ගමනක ගෙන යෑම ඔහුට අවශ්‍ය විය.

එහෙත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මානව සම්පත කළමනාකරණයේදී ආණ්ඩුව සමඟ මේ වන විට එකට එකතු වී කටයුතු කරන කණ්ඩායමෙන් ප්‍රතිවිරෝධතා මතුවිය. හිටපු නායිකාවක් මෙන්ම වර්තමානයේ පක්ෂයේ අනුශාසකවරිය වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආශිර්වාදය එම කණ්ඩායමට නොමඳව ලැබී තිබීම තුළ ගැටලුව තවත් දුරදිග ගියේය. කාලාන්තරයක් තිස්සේ මේ ගැටලුව තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වෙද්දී යම් යම් නායකයන් නතර වූයේ සමගි ජනබලවේගය සෙවනේය. ඒ අතර ස්වාධීන වූ පුද්ගලයන්ද කීප දෙනෙකි. එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසානයේ සීසීකඩ විසිර යන්නට පටන් ගත්තේ පක්ෂයේ යම් යම් පාර්ශ්වයන් ඇතුළේ අර්බුද විසඳා ගැනීමට ගැටලුව අලුත්කඩේ උසාවිය දක්වා රැගෙන යෑමෙන් අනතුරුවයි.

අද වන විට සිරිසේන පාර්ශ්වය විසින් පක්ෂයේ බලවත් නායකයන් කිහිප දෙනකුගේ නිලතල අහෝසි කර අවසන්ය. ඔවුන් විසින් එම පියවරට විරුද්ධව උසාවි ගොස් පක්ෂය විනය කඩ කරමින් ව්‍යවස්ථාවට විරෝධීව අත්තනෝමතිකව ක්‍රියා කරන්නේ යැයි නායක මෛත්‍රීපාලට එරෙහිව වාරණ නියෝගයක් ගෙන අවසන්ය. දැන් ඒ පාර්ශ්ව දෙකටම වෙන වෙනම දේශපාලන මණ්ඩල සිටිති. වෙන වෙනම වැඩ බලන උප සභාපතිවරු හා ලේකම්වරු සිටිති. වෙන වෙනම නිලතල මඩුළු සිටිති. එහෙත් ඔවුන් දෙපිරිසටම ඇත්තේ එකම එක පක්ෂයක් හා පක්ෂ කාර්යාලයක් පමණි. දැන් ගැටලුව ඒ පක්ෂය අයිති මේ දෙපිරිසෙන් කාටද කියාය.

පසුගිය සතියට පෙර සතියේ මෛත්‍රී පාර්ශ්වය විසින් තවත් දේශපාලන ලෙඩක් දාගත්තේ වත්මන් රජයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස ක්‍රියාකරන ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන උප සභාපතිවරයා ලෙස පත්කර ගැනීමෙන් අනතුරුවයි. මෛත්‍රීපාල ප්‍රමුඛ ඔහුගේ දේශපාලන මණ්ඩල රැස්වීමක් පසුගිය විසිවැනිදා පවත්වා ඔවුන් මේ පිළිබඳ අවසන් තීරණයක් ගනු ලැබූහ.

මේ තීන්දුවෙන් පසුව ආණ්ඩුවත් සමග සහයෝගයෙන් වැඩ කරන කණ්ඩායමේ නායකයෝ වෙනම මහින්ද අමරවීරගේ නිවසේ රැස්වී මේ පිළිබඳව ගත හැකි ඊළඟ පියවර ගැන සාකච්ඡා කරමින් සිටියහ.

අපි තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ. අපිව පක්ෂයේ නෙරපපුවා කිව්වට තවමත් අපේ වැටුපෙන් රුපියල් 5000 ගාණේ මාසිකව පක්ෂයේ අරමුදලට කැපෙනවා. අපට චෝදනාව තියෙන්නේ අපි මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු ලෙස පක්ෂයේ තීන්දු තීරණ වලට එරෙහිව කටයුතු කිරීමලු. හැබැයි දැන් මෛත්‍රී පාර්ශ්වය අලුතෙන් පත් කරල තියෙන අලුත් වැඩ බලන උප සභාපති කොහෙද ඉන්නේ කියලයි බලන්න ඕන… අමරවීර එසේ කියද්දී නිමල් සිරිපාල කතා කළේ සාක්ෂි කිහිපයක් අතැතිවය…

මෙන්න මගේ ළඟ තියෙනවා ආචාර්ය විජයදාස රාජපක්ෂ අපේ අධිකරණ ඇමැතිතුමාගේ වැටුපෙන් ගිය මාසෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සාමාජික ගාස්තු කපල ඇරපු ලියැකියවිලි. එතුමා ඡන්දය ඉල්ලලා තියෙන්නේ ශ්‍රී ලංකා එකෙන් නෙවෙයි. පොදුජන පෙරමුණෙන්. එතුමා එහි ඡන්දය ඉල්ලනකොට පක්ෂ විනය කඩ කරන්නේ නෑ පක්ෂයේ තීන්දු තීරණවලට අනුව කටයුතු කරනවායි කියලා දීපු දිවුරුම් ප්‍රකාශයකුත් අප සතුයි. එහෙමනම් කොහොමද මෛත්‍රිපාල සිරිසේන මහත්තයා පිටස්තර පක්ෂයක අයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ලෙස පත් කළේ… මේකට විරුද්ධව අපි උසාවි යා යුතුයි….

නිමල් සිරිපාල, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ජගත් පුෂ්ප කුමාර ඇතුළු කණ්ඩායම මෙසේ සාකච්ඡා කර පසු දිනම උසාවි යනු ලැබුවේ ජනාධිපති නීතිඥ කුරේරා මහත්මාගේ නීති උපදේශකත්වය යටතේය. අධිකරණය අධිකරණ ඇමැති කියා බැලුවේ නැත. ඉදිරිපත් කර තිබෙන කරුණු විමසා බලා තීන්දුවක් ගත් දිසාධිකරණය විජයදාස රාජපක්ෂ මහතාගේ වැඩ බලන උප සභාපති තනතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථා විරෝධී යැයි තීරණය කර එම තනතුරට වාරණ නියෝගයක් පනවනු ලැබීය. මේ අවස්ථාවේ වාරණ නියෝගය ඉල්ලා තිබුණේ වැඩ බලන උප සභාපතිට පමණක් නොව, වැඩබලන ලේකම්වරයාටද එරෙහිවය. ඒ අනුව වැඩ බලන ලේකම් දෘෂ්‍යන්ත මිත්‍රපාලටත් වාරණයක් වැටුණි. අවසානයේ නිමල් සිරිපාල ද සිල්වාලාගේ පාර්ශ්වයේ සාමාජිකයෝ එක්වී දුමින්ද දිසානායකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් ලෙස පත්කරගනු ලැබූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය පසුගිය සතිය නිමා වන විට තිබුණේ අන්න ඒ ආකාරයේ පටක් පොටක් හොයාගත නොහැකි වූ පැටලුණු නූල් බෝලයක ආකාරයටයි.

මහින්ද ඩලස් හමුවීම නූලෙන් මගඇරුණු හැටි…

පසුගිය බ්‍රහස්පතින්දා දහවල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් ඔහුගේ දේශපාලන සමීපතමයකු ලෙස කලක් කටයුතු කළ ඩලස් අලහප්පෙරුමත් ප්‍රේමනාත් සී. දොලවත්තත්, ලසන්ත අලගියවන්නත් එකම මඟුල් ගෙදරක එකම මේසයකදී හමුවීමට නියමිතව තිබිණි. ඒ ප්‍රකට සන්නිවේදකයකු වූ නිමල් වීරතුංගගේ දියණිය විවහපත් වීම නිමිත්තෙන් සීදුව රෝයල් රෙමාසල් හෝටලයේ එදින පැවැති මංගල උත්සවයේදීය.

කලක් මහින්ද රාජපක්‍ෂගේත් ඩලස් අලහප්පෙරුමගේත් සමීපතම මාධ්‍ය ලේකම්වරයකුව කටයුතු කළ නිමල් වීරතුංග තම දියණියගේ විවාහය වෙනුවෙන් සාක්ෂියට අත්සන් කරන්නට මහින්ද රාජපක්ෂට ආරාධනය කර තිබිණි. එහෙත් විවාහය ලියාපදිංචි කිරීමේ මොහොත වන විට එතනට පැමිණ සිටියේ හිටපු ජනාධිපතිවරයාත් ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයාත් පමණි. ජගත් පුෂ්ප කුමාර මන්ත්‍රීවරයාගේ ආදරණීය මෑණියන් ඒ වන විට මියගොස්ව සිටි බැවින් ඩලස් තනමල්විල ජගත්ගේ නිවසට ගොස් නැවත සීදුව මඟුල් ගෙදරට නිසි වේලාවට පැමිණිය නොහැකි විය. ලසන්ත අලගියවන්න ඒ වන විට එතනට පැමිණියත් හදිසි නඩු කටයුත්තකට අලුත්කඩේට යා යුතු බව කියමින් නිමල්ට හා දියණියට සුබපතා යන්නට ගියේ මහින්ද මහතා සිටි පැත්තට ගියහොත් ඇතිවන ප්‍රමාදය නිසාය.

හිටපු ජනාධිපති මහින්ද සාක්ෂියට අත්සන් තැබීමෙන් අනතුරුව ප්‍රේමනාත් සී දොළවත්ත සමඟ ලොකු කතාබහකට මුල පුරනු ලැබීය. මහින්ද වෙනුවෙන් දිවා ආහාරය සූදානම් කර තිබුණේ හෝටලයේ දෙවැනි මහලේ විශේෂ අමුත්තන්ගේ අවන්හලේය. මහින්ද එහි ගියේ දොළවත්ත මන්ත්‍රීවරයාද කැටුවය. දෙදෙනා එළවළු සලාදයක් හා පළතුරු වර්ග ආහාරයට ගනිමින් ලොකු දේශපාලන කතාබහකට පිවිස සිටි බැවින් අමතර කිසිවකු ඒ ළඟට ගියේ නැත. මේ දිනවල දේශපාලන කරළියේ ඉහළ තලයේ කතාබහට ලක්වන මාතෘකාව එතනදීද සාකච්ඡාවට ලක්වූ බව වාර්තා විය. එනම් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය වඩා සුදුසු බවට පසුගියදා බැසිල් රාජපක්ෂ ගෙනා තර්කයයි. ඒ බැරෑරුම් සාකච්ඡාව දෙදෙනා අතර පැය භාගයක් පමණ පැවතිණි.

අපි බ්ලැක් කෝපි එකක් බොමුද සර්… ප්‍රේමනාත් අසද්දී මහින්ද ඉතා හයියෙන් සිනහසී ඒ යෝජනාව අනුමත කළේය. දෙදෙනා කෝපි බොන අතරතුර නිමල් වීරතුංග ද එතනට කිට්ටු විය…

නිමල් අයියට ගොඩක් ස්තුතියි. මට ජනාධිපතිතුමත් එක්ක තනියම මේ වගේ සමීපව කතා කරන්න ඉඩක් ලැබිලම නෑ. ඒ අවස්ථාව ලබා දුන්නට ඔබට බොහොම පින්… දොළවත්ත විවෘතවම නිමල්ට ස්තුති කළේය.

දහවල් මහින්ද ආපසු යන්නට ගිය පසු දොළවත්ත ප්‍රධාන ශාලාවට පිවිසියේය. තනමල්විල හා මාතර මළගෙවල් දෙකකට ගොස් ඩලස් සීදූවට පැමිණෙන විට හවස දෙක පමණ වී තිබිණි…. සීමිත ලෙස තෝරාගෙන ආරාධනය කර තිබූ මාධ්‍යවේදියෙක් කලාකරුවන් කීපදෙනෙක් හා හිතවතුන් පිරිසක් ඩලස්ව වට කරගෙන කතාබහ කරමින් සිටියේ ඉන් පසුවයි.

රනිල් බැසිල් හමුවෙන් මැතිවරණ කල්යයි..!

මේ අතර අඟහරුවාදා හවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඉතා සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්වුණේ පැජට් පාරේ ජනාධිපති නිල නිවසේදීය. මේ සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් දෙදෙනා අතර සතර කම්මන්ත්‍රණයක් ලෙස පැවතියත් සාකච්ඡා වූ කරුණු පිළිබඳ තොරතුරු පිටට හෙළි නොකරන්නට දේපාර්ශ්වයම වග බලාගෙන තිබිණි.

මේ දෙදෙනාගේ සාකච්ඡාවෙන් අනතුරුව ආණ්ඩුවේ අගමැති ප්‍රමුඛ විශේෂ ඇමැතිවරු සහ නායකයෝ කීපදෙනෙක් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට පැමිණ සිටියහ. අගමැති දිනේෂ්, නිමල් සිරිපාල, ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, හරින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙහි සිටියහ. ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීම පරිදි බැසිල් රාජපක්ෂත් එම සාකච්ඡාවට සහභාගි විය…

මෙහිදී සාකච්ඡා වී තිබුණේ ආණ්ඩුවේ ඉදිරි වැඩකටයුතු ගැනය. ආරංචි මාර්ගවලට අනුව ජනාධිපති රනිල් හා බැසිල් අතර සාකච්ඡාවේ මාතෘකාව ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයි. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වීමේ අවශ්‍යතාවය මතු කළත් පෙරදී පැවති සාකච්ඡාවලදී මෙන්ම මෙම සාකච්ඡාවේදීත් බැසිල් රාජපක්ෂ මතුකර ඇත්තේ මහ මැතිවරණයක අවශ්‍යතාවයි. මහ මැතිවරණයක් තමන් ඉල්ලා සිටින්නේ ඇයි දැයි කියා බැසිල් මෙහිදී ඉතා විස්තරාත්මකව හා තර්කාන්විතව කරුණු කාරණා ඉස්මතු කළේ යැයි වාර්තා විය. එහෙත් ඒ ගැන දෙන්නා දෙපැත්තෙන් කතා කළා මිස එකඟතාවක් නොවීය. අවසානයේ දෙදෙනා එකඟව ඇත්තේ මැයි දිනයේදී ඒ පක්ෂ පෙන්නුම් කරන පිරිස් බලය හා ඒ වන විට බුද්ධි අංශ වාර්තා කරන තොරතුරු සම්පින්ඩනයකින් පසුව ජුනි මාසයේදී තීන්දුවක් ගැනීමටයි.

මේ දෙදෙනාගේ සාකච්ඡාවෙන් පසුව ආරම්භ වූ ආණ්ඩුවට උදව් කරන පක්ෂවල නායකයන්ගේ සාකච්ඡාවේදී ද ඉදිරියේදී පවත්වන මැතිවරණය ගැන සාකච්ඡා වුවත් එය කුමක්දැයි නිශ්චිතව සාකච්ඡා වී නැත. හරියටම එය කුමක්දැයි ජුනි මාසයේදී දැනුම්දෙන බව පමණක් අදහසක් ලෙස ජනාධිපතිගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් විය.

තවත් වැදගත් කරුණක් මෙහිදී සාකච්ඡා විය. එනම් ඒ ඒ පක්ෂවල පළාත් පාලන නියෝජිතයන්ගේ බලය සම්බන්ධ කාරණාවකි. ඉදිරියේදී පැවැත්වෙන කවර මැතිවරණයකදී වුවත් ගමේ වැඩ කරන්නේ ප්‍රාදේශීය සභා නියෝජිතයෝ බව තහවුරු කර කීවේය. ඔවුන්ට බලයක් හෝ හයියක් නොමැතිව ඔවුන් කෙසේ වැඩ කරන්නේද යන තර්කය එහිදී මතුවිය. මේ කාරණාවම මීට පෙර මනූෂ නානායක්කාර ඇමැතිවරයාද මතුකර තිබුණි. එහිදී ජනාධිපතිවරයා ඔහුට උත්තර දී තිබුණේ බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කර ඊට නිසි විසඳුමක් ලබා දෙන බවකි.

එම කාරණාවම මේ අවස්ථාවේදී මතුවූ බැවින් ඊට වැඩි දෙනකුගේ අවධානය යොමු විය. පළාත් පාලන නියෝජිතයන්ට කුමක් හෝ හයියක් ලබාදීමට තමන් ඉතා ඉක්මනින් කටයුතු කරන බව මෙහිදී ජනාධිපතිවරයා පොරොන්දුවක් දුන්නේය.

මෙම සාකච්ඡා සියල්ල නිමවී බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ නියෝජිතයන් හමුවූ වෙලාවේ ඔවුන් සියල්ලෝම රනිල් හා තිබූ සාකච්ඡාව ගැන කරුණු විමසන්නට වූහ…

“එතන වැඩි වැදගත් දෙයක් කතා වුණේ නෑ…” බැසිල් එසේ කියන විට එහිදී යම් කිසි වැදගත් දෙයක් සාකච්ඡා වන්නට ඇතැයි කියා පොහොට්ටුවේ සෙසු නායකයෝ තේරුම් ගත්හ…

“මහ මැතිවරණයද ජනාධිපතිවරණයද කියන ප්‍රශ්නයට මොකද වුණේ?…”

“ඒ ගැන තීන්දුවක් ජුනි මාසෙදි විතර ගනීවි… හැබැයි මතක තියාගන්න. ආණ්ඩුව පාර්ශ්වයේ අපේක්ෂකයා කවුද කියන එක තවම තීන්දුවක් නෑ. අනිත් එක පරදින ජනාධිපතිවරණයකට රනිල් ඉල්ලන්නෙත් නෑ… ඒ වගේම තමයි ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් කවුද දාන්නේ කියන එක අපි තවම තීන්දු කරලත් නෑ…”

ඒ සාකච්ඡාව එලෙස අවසන් වූ අතර 24 වන බදාදා විවෘත වන උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ උත්සවයට පොදු ජන පෙරමුණ හැටියට සහභාගී වනවාද නැද්ද කියන කාරණාවටත් විසඳුමක් අවශ්‍ය විය…

“මේකට අපි හැමෝටමත් වෙන වෙනම ආරාධනා කරලා තියෙනවා..”

“මේ ව්‍යාපෘතියේ නිර්මාතෘ මහින්ද රාජපක්ෂ මැතිතුමා. අද කවුරු විවෘත කළත් එතුමා තමයි මේක හැදුවේ කියලා මුළු රටම දන්නවා. ඉරාන ආධාර අරගන්න මුල් වුණේ එතුමා. ඒ උනාට එතුමා මේ උත්සවයට සහභාගී වන්නේ නැහැ කියලා විවෘතව ප්‍රකාශ කරල තියෙන මොහොතක අපි කොහොමද සහභාගි වෙන්නේ…?

එහෙමනම් අපි කවුරුත් පොහොට්ටුව හැටියට සහභාගී නොවී ඉමු…

ඔව් ආණ්ඩුව නියෝජනය කරන අපේ පක්ෂයේ ඇමැතිවරු ඉන්නවා මේකට යන. ඒගොල්ලෝ ගියදෙන්. අපි නොගිහින් ඉමු… මෙසේ සාකච්ඡා කොට තීන්දුවක් ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ උත්සවයට පක්ෂයක් හැටියට සහභාගි නොවන්නට තීන්දුවක් ගත්තේය.

ඉරාන ජනාධිපතිට රනිල්ගෙන් බුරියානි….

පසුගිය සතිය අගමැති දිනේෂ් ගුණවර්ධනට වගකීම් රැසක් පැවරුණු සතියකි. ඔහු සතිය ආරම්භ කළේම අරලියගහ මන්දිරයන්ට මේ රටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි ප්‍රකට මාධ්‍යවේදීන් හා මාධ්‍ය හිතවතුන් ගෙන්වා ඔවුන් වෙත ලබා දුන් අවුරුදු තේ පැන් සංග්‍රහයකින් පසුවයි. අගමැතිවරයා එහිදී ඉතා සුහදව පැමිණ සිටි මාධ්‍යවේදීන් හා කතාබහ කරමින් කීවේ තමන් ඉතා සතුටින් හා වගකීමෙන් යුතුව අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ කටයුතු කරමින් සිටින බවයි. ජනාධිපතිවරයා ද තමන් කෙරෙහි විශ්වාසය තබා වගකීම් රාශියක් තමන් වෙත ලබා දී ඇතැයි අගමැති කීවේය.

එය සත්‍යයකි. ඉරාන ජනාධිපතිවරයා මත්තලදී පිළිගැනීමේ අවස්ථාව ජනාධිපති භාර දුන්නේ අගමැති දිනේෂ්ටය. මත්තලින් පිළිගෙන උත්සව භූමිය වෙත සුරක්ෂිතව ජනාධිපතිවරයාව රැගෙන යෑම අගමැති දිනේෂ්ගේ වගකීම විය.

උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේදී ද අගමැති දිනේෂ්ට නිසි ගෞරවයක් හා නිසි පිළිගැනීමක් ලබාදී තිබිණි. උත්සවය අවසන් වූවාට පසු ඉරාන ජනාධිපතිවරයා යළි කොළඹට පැමිණිය යුතු විය. ඔහුව වඩාත් ආරක්ෂිතව මත්තල වෙත කැඳවාගෙන ගොස් මත්තලින් කොළඹට ගුවන් මගින් යැවූ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අධිවේගී මාර්ග ඔස්සේ කොළඹ පැමිණියහ.

ඉතා උණුසුම් උත්සවයකින් ගෞරවාන්විතව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉරාන ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවේය. දෙදෙනා අතර පමණක් පැවැත්වුණු විශේෂ සාකච්ඡාවක්ද එහිදී සිදු කෙරුණි.

ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ප්‍රමුඛ ඇමැතිවරු රැසක් ද පැමිණ සිටියහ. සාගල රත්නායක ඔවුන් වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් පවත්වා ටික වේලාවක් සතුටු සාමිචියේ සිටියේ ඉරාන ජනාධිපතිවරයා එදින දහවල් ආගමික මෙහෙයන් පවත්වා යළි කාර්යාලයට එනතුරුය. මෙසේ බලා සිටි අය අතර ප්‍රසන්න, සුසිල්, පවිත්‍රා, අලි සබි්‍ර, කංචන යන අයද සිටියහ. ඔවුන් කතාබස් කළේ ඉරානයේ රජකම හා නායකත්වය පැවරී යන සම්ප්‍රදාය හා පිළිවෙත ගැනය. අලි සබ්රිට ඒ ගැන හොඳ දැනුමක් හා අවබෝධයක් තිබිණි.

ඉරාන ජනාධිපතිවරයා හා රාජ්‍ය අමුත්තන් වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ විශේෂ භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබිණ. ලංකාවේ සිටින පක්ෂ විපක්ෂ මුස්ලිම් දේශපාලනඥයෝ රැසකටද ඒ සඳහා ආරාධනය කර තිබීම විශේෂත්වයකි. ඔවුන් සියලු දෙනා ආරාධනා පිළිගෙන පැමිණ සිටියහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටද විශේෂ ආරධනාවකි. ඉරාන ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ආහාර සූදානම් කර තිබූ අතර විශේෂ බුරියානි සංග්‍රහයක් හා විශේෂ ඉඳිආප්ප සංග්‍රහයක්ද ඒ අතර වූහ. ඉරාන ජනාධිපතිවරයා මෙවන් අහරක් ඊට පෙර ගෙන තිබුණේ නැත. ඒ ගැන කරුණු විමසා සිටියදී ජනාධිපතිවරයා කළේ එම ආහාර වේල සකස් කළ සූපවේදියා එතනට ගෙන්වා ජනාධිපතිවරයාට හඳුන්වා දී ආහාරය ගැන විස්තර කරන්නට ඔහුට අවස්ථාව සලසා දීමය. අපේම ආහාර වට්ටෝරුවකට අනුව සැකසූ මේවා සුප්‍රසිද්ධ රාජස්ථාන් බුරියානිවලට වඩා වෙනස් වන්නේ කෙසේදැයි සූපවේදියා පහදා දෙද්දී ඉරාන ජනාධිපතිවරයා තමන් මෙවන් ආහාර වේලක් කිසිදා රස විඳ නැතැයි කියා සූපවේදියාට ස්තුති කළේය.

රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණ සිටි කබීර් හෂීම් ඔහුගේ ගමේ සගයෙකු වූ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න මුණ ගැසුණු අවස්ථාවේ විමසා තිබුණේ “දැන් ඔයාල ද අපේ පැත්තට එන්නේ නැතිනම් අපි ද ඔයාලගෙ පැත්තට එන්නේ” කියාය.

“ඒක ඉතින් ඇමතිතුමා තමයි කියන්න ඕනේ.” ශානුක පිළිතුරු දුන්නේ සිනහවෙනි. කබීර් ළඟට පැමිණි ජනපතිට මේ කතාව ශානුක කියද්දී “මොනවා වුණත් වටිනාකම වැඩි මහගෙදරට ආවමනේ.” කබීර් කීවේ ජනපති දෙස ද බලමිනි.

රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු ඉරාන ජනපති කටුනායක ගුවන්තොටුපොළින් ටෙහෙරාන් නුවර බලා පිටත්ව ගියේ එක්දින නිල සංචාරය අවසන් කරමිනි. බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනපති මුණ ගැසුණු මැති ඇමැතිවරු පිරිසක් මේ සංචාරය ගැන ජනපතිගෙන් විමසන්නට වූහ.

“එදා අපි බංකොලොත් වෙලා වැටිලා ඉද්දි කවුරුත් බැලුවේ නෑ. නමුත් අද ලෝකයම බලාගෙන හිටියේ ඉරාන ජනාධිපති ආපු එක ගැනයි. ලෝකයේ දකුණු කලාපයේ නැගී එන රටක් ලෙස දැන් මුළු ලෝකයම අපේ රට ගැන කතා කරනවා.” ඇමැති ප්‍රසන්න රණතුංග කීවේ ආඩම්බරයෙනි.

“එතුමා පකිස්ථානයේ අගනුවර විතරයි හිටියේ. හැබැයි මෙහෙදි රටෙන් භාගයක විතර ඇවිද්දා. ලෝක අර්බුදය අස්සේ ඉරාන ජනාධිපතිතුමා පැමිණීම නම් ලොකු ජයග්‍රහණයක්. හැමෝම හිතුවේ අවසාන මොහොතේ ගමන කැන්සල් වෙයි කියලයි.” ඇමති මනූෂ ද කතාවට එක්වූවේ එලෙසිනි.

“ඇමරිකාව පකිස්ථානයට නම් අනතුරු අඟවලා තියෙනවා ඉරානය පැත්තට ගියොත් සම්බාධක වැටෙයි කියලා.” මන්ත්‍රී වජිර පැනයක් එක් කළේය.

“නෑ අපිට එහෙම දෙයක් කියලා නෑ. මොකද අපි නොබැඳි පිළිවෙතේ ඉන්නවා කියලා දැන් ලෝකයම දන්නවා. මොකද එතුමා විතරක් නොවෙයි දැන් හැමෝම ලංකාවේ ඉන්නවා. දැන් ලංකාව පරණ මාන්තොට වගෙයි. රුසියන් අය, යුක්රේන අය, චීන අය, ඇමරිකන් අය හැමෝම දැන් ලංකාවේ ඉන්නවා.” ජනපති කීවේ උස් හඬිනි. “විපක්ෂ නායකතුමා නම් ඇවිල්ලා නැත්තේ එයාලට එකතු වෙච්ච පොහොට්ටු කණ්ඩායමේ උපදෙස් අනුවලු. මොකද මේකට ගියොත් ඇමරිකාව තරහවෙයි කියලා අලුත් කණ්ඩායමේ උපදෙස් ලැබිලා.” මහාචාර්ය ආශු කීවේ පිරිස සිනහ ගන්වමිනි. බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ පැමිණීම ගැන මෙහිදී කිහිප දෙනෙක් විමසා සිටියේ ජනපතිගෙනි..

“ඒක බැසිල් හමුවක් නොවෙයි. ආණ්ඩුවට සහාය දෙන පක්ෂ නියෝජිත හමුවක්. ඒකට අගමැතිතුමත් ආවා බැසිල් ඇමතිතුමත් ආවා. ටිරාන් අලස් වගේ තවත් පක්ෂ නියෝජිතයෝ ඇවිල්ලා හිටියා. අපි කතා කළේ ආණ්ඩුවේ සංවර්ධන වැඩ ගමට ගෙනියන ආකාරය ගැන.” ජනපති පිළිතුර එය විය.

“දැන් අධිකරණය ස්වාධීන නෑ කියලා කාටවත් කියන්න බෑ. මොකද අධිකරණ ඇමතිට විරුද්ධවත් නඩු තීන්දු දෙන තැනට රට ඇවිල්ලා. කැබිනට් ඇමති කෙනෙක්ව හිරෙත් දැම්මා “ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කියද්දී සැවොම හිස සැලුවා මිස කිසිවෙකුගේ මුව විවරවූවේ නැත.

ඉන් පසුව මැයි දිනය ගැන පක්ෂ ක්‍රියාකාරීන් සමඟ ජනපති සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර පක්ෂ මහලේකම් රංගෙ බණ්ඩාර න්‍යාය පත්‍රය හා පැමිණෙන සෙනඟ ගැන ප්‍රකාශයක් කළේය. ජාතික සේවක සංගමයේ කටයුතු ගැන උප නායක අකිල කරුණු ඉදිරිපත් කළේය. එසේම සිවිල් සංවිධාන හා පැවැත්වුණු සාකච්ඡා ගැන ද මෙහිදී කරුණු හෙළිදරව් විනි.

මේ අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඉකුත් ඉරිදා නුගේගොඩ පැවැති ප්‍රියසම්භාෂණයකට එක්වූවේය. ඒ දිවංගත ඇමති මංගල සමරවීරගේ උපන් දිනය වෙනුවෙන් මංගලගේ මිතුරන් පිරිසක් සංවිධානය කළ සාදයකි.

එහි ගිය සාගලට සජබ මන්ත්‍රී මරික්කාර් මුණ ගැසුණේ ඔය අතරවාරයේය. “ආ මෙයා ඉතින් හැමදාම මාධ්‍යයට කියනවානේ ජනාධිපතිතුමා ඡන්දෙට එන්නේ නෑ කියලා. ඉතින් මම අද මෙතුමට කියන්න කැමතියි ඔබතුමා ආයේ ඒ කතාව කියන්න එපා. මොකද ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම ඊළග ජනාධිපතිවරණයට ඉල්ලනවා.” සාගල කියද්දී එහි සිටි පිරිස අත්පොළසන් දුන්නේ රනිල්ගේ ජනාධිපති අපේක්ෂකත්වය අද මෙතනදි තහවුරු කළා කියා කෑ කොස්සන් දෙමිනි.

සහල් බෙදීමේදී අජිත් අතීතය කියයි

අඩු ආදායම්ලාභී ජනතාවට සහල් බෙදාදීමේ ව්‍යාපෘතිය ඉකුත් සතියේදී ඒ ඒ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක විය. සම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂයි. එහිදී මීට අවුරුදු දෙකකට ඉහතදී සිදුවූ සිද්ධියක් අළලා අජිත් කතාවක් කලේ සූරියවැව හා අම්බලන්තොට ප්‍රදේශවල සහල් බෙදාදීමේ උත්සවයේදීය.

“මීට අවුරුදු දෙකකට පෙර තිබුණු දුෂ්කර තත්ත්වයෙන් රට මුදාගෙන ජනාධිපතිතුමා අද වෙනකොට නිදහසේ සිංහල අවුත් අවුරුද්ද කන්න පුළුවන් තත්ත්වයකට රට ගෙනාවා. එතුමා ඒවා කළේ කැපකිරීම් කරලා. ඔබට මතක ඇති එතුමා බදු එකතු කළා. යම් යම් බදු එකතු කිරීම්වලට අදාළ අණ පනත් පාර්ලිමේන්තුවට ගෙනාවා. සමහර දේශපාලන කල්ලි ඒ වෙලාවේ ඔබට (ජනතාවට) කිව්වා අන්න ඒ අණ පනත් වලට පක්ෂව ඡන්දය දීලා ගමට එන මන්ත්‍රීවරුන්ට ගහල පන්නන්න, ගෙවල් ගිනි තියන්න කියලා. බුද්ධිමත් ඔබ එදා ඒ උගුලට අහු උනේ නෑ.

අන්න එදා ඒ විදිහට බදු එකතු කරලා යම්කිසි කැපකිරීමක් ඔබත් අපි කළ නිසා තමයි අද අපිට සිංහල අලුත් අවුරුද්ද කන්න පුළුවන් විදියට රට ගොඩගන්වන්න හැකි වුණේ.

පසුගිය දිනක පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ මේ ගැන කතාබහක් ඇති විය…

ජේවීපී එක හාල් බෙදන වැඩේට ගහනවා… මන්ත්‍රීනි කෝකිලා කීවාය.

ඔව් මටත් ආරංචියි… සමහර තැන්වල පෝස්ටර් පවා ඒගොල්ලො ගහලා මේකට විරුද්ධව… උපුල් මහේන්ද්‍ර කීවේය.

ඒ ගැන කලබල වෙන්න එපා උපුල්… ජේවීපී එක හැමදාම කළේ විවේචනය කරපු එක විතරයි. එයාලා කරපු කිසිම හොඳ වැඩක් රටේ ඉතුරුවෙලා නෑ. අඩුම තරමේ ඇමතිකම කරපු කාලේ වැව් ටිකවත් හරියට හදාගන්න බැරි වුණා…” ප්‍රසන්න කීවේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment