යාල සුරකිමු අනාගත පරපුරට

246
යාල සුරකිමු අනාගත පරපුරට

යාල ජාතික වනෝද්‍යානය ගැන කතාකරමින් සිටි අපට ඒ කතාව නවතා මඳක් නිහඬ වන්නට සිදුවූයේ උද්‍යානය තුළදී පසුගියදා ඇතිවූ කනගාටුදායක සිදුවීම නිසාය, එනම් පෞද්ගලික ජීප් රථ 35 කින් පමණ යාලට ඇතුළු වූ පිරිසක් කොටින් සහ කොටි පැටවුන්ගැ වසෙන ගල්පර සහිත පරිසරයක එම ගල් මතින් ජීප් රථ ගමන් කරවමින් හා වන සතුන්ගේ වාසස්ථාන හා උන්ගේ චර්යාවන්ට බාධාවන අයුරින් හැසිරෙමින් කරන ලද නොමනා ක්‍රියාව නිසා යාලට තවත් ප්‍රසිද්ධියක් ලබාදීම නොකළ යුත්තක් බව අපගේ අදහස වූ නිසාය. එනිසාම යාල වනජීවී රක්ෂිතය පිළිබඳව කරන්නට බලාපොරොත්තුව සිටි ගවේෂණාත්මක කතා පෙළගැස්ම පසෙකින් තබා මෙවර කලාපයෙන් යාල The Big Jungle සංචාරය නිමාකරන්නට අප තීන්දු කර ඇත්තෙමු.

යාල සුරකිමු අනාගත පරපුරට

සැබැවින්ම ඉහත ජීප් රථකරුවන් විසින් යාල ජාතික උද්‍යානයට කරන ලද හානිය හා කරන ලද වැරැද්ද අතිශය බරපතළය. ඔවුන් වනජීවී නීතිය පිළිබඳව කිසිදු තැකීමක් නොකර, වනෝද්‍යානයක හැසිරී ඇත්තේ සතුන්ටත් අන්ත අයුරිනි. මේ නිසා යාල වනෝද්‍යානය පමණක් නොව, එක් අතකින් මුළු රටම අපකීර්තියට පත්වූ බව අපගේ අදහසයි. මන්ද යාල ජාතික උද්‍යානය යනු සමස්ත ලෝකයේම උරුමයක් වන නිසාය.

යාල ජාතික වනෝද්‍යානය ජාතික වශයෙන් මෙන්ම, ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රකට උද්‍යානයකි. එසේ හෙයින් මේ උද්‍යානයට ආදරය කරන්නෝ ලොව පුරා විසිරී සිටිති. විශේෂයෙන්ම (ශ්‍රී ලංකානු) දිවියන් නොහොත් කොටි දකින්නට ලොව අංක එකේ වනෝද්‍යානය යාල ජාතික උද්‍යානයම මිස අනිකක් නොවේ. මෙහි කලාප අංක එක තුළ එක වර්ග කිලෝමීටරයක එක කොටියකු සිටින තරමේ කොටි ගහනයක් දිවි ගෙවන බව කියනු ලැබේ. මේ දිනවල ඉතා හොඳ කොටි ගහනයක් උද්‍යානය තුළ වෙසෙන අතර, එක මවකට පැටව් තිදෙනෙක් සිටිති. තවත් මවකට පැටවුන් දෙදෙනෙකි. තවත් කොටි අම්මා කෙනකුට එක පැටියෙකි. එසේම, නාඹර වියේ කොටි තරුණයන්ද කිහිපදෙනකුම ඔය කියන යාලේ ජීප් රථවලින් ගොස් පිස්සු නටපු ප්‍රදේශයේ ජීවත් වේ.

යාල සුරකිමු අනාගත පරපුරට

එසේම, විශාලම සර්ව භක්ෂකයා වන වළසුන්, අලි-ඇතුන්, නෙක වර්ගයේ කුරුල්ලන්, කිඹුලන් ඇතුළු උරගයින්, උභයජීවීන්, ලොකු කුඩා ක්ෂීරපායීන් යනාදී ඉතා ඉහළ සත්ත්ව ගණත්වයක් ඇති මෙම වනෝද්‍යානය රසවිඳීම භාවනාවකට සමවැදීමක්ම මිස එහි ගොස් පිස්සන් මෙන් සැරීම නොකළ යුත්තකි. එනිසා අප දකින්නේ පෙර කී සල්ලිකාර තරුණ කණ්ඩායම යාල වනෝද්‍යානයට කරන ලද්දේ බරපතළ වැරද්දක් බවයි.

යාල සුරකිමු අනාගත පරපුරට

එපමණක් නොව, මේ කණ්ඩායම නිසා අද වන ජීවී ඡායාරූප ශිල්පීන් ඇතුළු සැබෑ පරිසර ලෝලීන්ට තම පෞද්ගලික වාහනවලින් ගොස් යාල ඇතුළු ජාතික උද්‍යාන නැරඹීම තහනමට ලක්වී ඇත. එය බරපතළ තත්ත්වයකි. එම නිසා එක අතකින් උද්‍යාන ආදායම පහත වැටෙන අතර, යාල නරඹන්නට යන උදවියට වැඩි පිරිවැයක් දැරීමට සිදුවීමෙන් වනජීවී ඡායාරූපකරණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට මෙහි නරක ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත.

යාල සුරකිමු අනාගත පරපුරට

“යාල බිග් ජන්ගල්” සංචාරය අප සිදුකළේ Nikon School හි ඡායාරූප පාඨමාලාවක ක්ෂේත්‍ර චාරිකාවක් ලෙසය. දින තුනක් තිස්සේ පැවති එම වැඩමුළුවෙන් අප ලැබූ අත්දැකීම් ගැන මීට ඉහතදී අපි කතා කළෙමු. නිකොන් ස්කූල් හි උපදේශක රොහාන් ෆොන්සේකා මහතා ප්‍රමුඛ ප්‍රවීණ හා ආධුනික ඡායාරූප ශිල්පීන් සහභාගි වූ මෙම වැඩමුළුව සඳහා “දිවයින – සංචාරේ” අපි සහභාගි වූයේ මාධ්‍ය පාර්ශ්වකරුවන් ලෙසිනි.

යාල සුරකිමු අනාගත පරපුරට

එහිදී කළ ක්ෂේත්‍ර චාරිකාව සහ වැඩමුළුව නිමාවට පත්කරන ලද්දේ සහභාගි වූ සියල්ලන්ටම Photo Technica” Nikon School Nikon School හා Tamron දායකත්වයෙන් සහතික පත්‍රය බැගින්ද පිරිනැමීමෙන් අනතුරුවය. යාල කලාප අංක එක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ මෙම වැඩමුළුව හා ක්ෂේත්‍ර චාරිකාව අතිශය රසවත්, චමත්කාරජනක එකක් වූවා සේම යාල නමැති අපේ අගනා වනෝද්‍යානය පිළිබඳව උදම් ඇනීමටද මෙය අවස්ථාවක් බවට පත්විය. එහිදී විවිධ කැමරාකරුවන් විසින් ලබාගන්නා ලද ඡායාරූප අතිශයින් සිත් අලවන සුළු ඒවා විය. එයින්ම අපට තේරුම් ගියේ මෙම උද්‍යානය කෙතරම් වටිනා තැනක්ද යන්නය.

යාල සුරකිමු අනාගත පරපුරට

යාල ජාතික උද්‍යානය කලාප 5 කින් සමන්විත වන අතර, වර්ග කිලෝමීටර් 980 ක් තරම් වපසරියකින් යුක්ත වේ. 1900 දී වනජීවී අභය භූමියක් බවට පත්කර ඇති යාල, ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලම වනෝද්‍යානය වන අතර, පළමු තැනගන්නා විල්පත්තුව සමග යාල උද්‍යානය 1938 දී ජාතික උද්‍යානයක් බවට ප්‍රකාශයට පත්කර ඇත. දකුණු හා සබරගමුව පළාත් දෙකට අයත්වන යාල, විල්පත්තුව මෙන්ම එක් පසෙකින් ඉන්දීය සාගරයට මුහුණලා ඇති බැවින් ගොඩබිම පමණක් නොව, සමුද්‍රීය ජීවී සම්පතින්ද අතිශය පොහොසත් උද්‍යානයකි. යාල කලාප අංක එක සහ දෙක සංචාරකයන් සඳහා විවෘත කර ඇති අතර, කලාප 5 ලුණුගම්වෙහෙර වනෝද්‍යානය හා සම්බන්ධ කර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරේ.

යාල සුරකිමු අනාගත පරපුරට

මෙවන් වටිනා වනෝද්‍යානයක් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව හා වගකීම ශ්‍රී ලංකාවාසී හැමදෙනාටම ඇත. අපගේ “නිකොන් ස්කූල්” ඡායාරූප වැඩමුළුවෙන්ද අවසාන වශයෙන් අප පසක් කරගන්නා ලද්දේ එයයි. විශේෂයෙන්ම වනජීවී ඡායාරූපකරණය කරන හැමදෙනාට අත් පොත් තබන්නට තෝතැන්නක් වන යාල සුරැකිය යුතු සම්පතක් ලෙස අවසාන වශයෙන් තහවුරු කරමින් අපි යාලට සමුදුන්නෙමු.

සැරිසර – ජගත් කණහැරආරච්චි
ඡායාරූප – Nikon School Photography

යාල සුරකිමු අනාගත පරපුරට

advertistmentadvertistment
advertistmentadvertistment