ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයෙන් 12කට තුවාල

495

ඉරානය විසින් ඉකුත් සෙනසුරාදා (13දා) ඊශ්‍රායලයේ හමුදා ඉලක්කයන් වෙත එල්ල කළ ඩ්‍රෝන යානා ප්‍රහාර හා කෲස් හා බැලිස්ටික් මිසයිල ප්‍රහාර 330 ක් හේතුවෙන් 12 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙසේ ඉරාන ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස අතර හත් හැවිරිදි වියෙහි පසුවන දැරියක්ද සිටින බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. මෙම ප්‍රහාරයන් එල්ල වීමත් සමගම දකුණුදිග ඊශ්‍රායලයේ යුද අනතුරු ඇඟවීම් අඟවන සයිරන් නලා දිගටම නාද කර ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද ඉරානය විසින් එල්ල කළ ඩ්‍රෝන යානා ප්‍රහාරයන් 170 ක් හා කෲස් මිසයිල 30 ක සංඛ්‍යාව ඉලක්කයන් වෙත පතිත වීමට පෙර ඊශ්‍රායල හමුදා විසින් අවහිර කර බිම හෙළා ඇති බව වාර්තා වී තිබේ. ඉරානය විසින් බැලිස්ටික් මිසයිල ප්‍රහාරයන් 130ක්ද ඊශ්‍රායලය වෙත එල්ල කර ඇතත් ඒවායෙන් සමහරක් දකුණුදිග ඊශ්‍රායලයේ නෙගෙව් කාන්තාරයේ නෙවටිම් ගුවන් හමුදා කඳවුරු ප්‍රදේශය වෙත පතිත වී ඇති බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි පවසා තිබේ. ඔහුට අනුව ඉරානය විසින් එල්ල කර ඇති ඩ්‍රෝන යානා හා මිසයිල ප්‍රහාරවලින් සියයට 99 ක්ම අවහිර කිරීමට ඊශ්‍රායල හමුදාවන් විසින් පියවර ගැනීම හේතුවෙන් එම ප්‍රහාරවලින් ඊශ්‍රායලයට සිදුව ඇත්තේ අවම හානියකි.

ඉරාන හමුදා විසින් එල්ල කර ඇති ප්‍රහාරවලින් බරපතළ තුවාල ලබා ඇති හත් හැවිරිදි දැරිය රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. ඉරානය විසින් “සත්‍ය පොරොන්දුව ” මෙහෙයුම (ඔපරේෂන් ටෲ ප්‍රොමිස් ) යනුවෙන් නම් කර ඇති මෙම ප්‍රහාරය ඊශ්‍රායලය වෙත එල්ල කිරීමට හේතු වී ඇත්තේ අප්‍රේල් පළමුවැනිදා ඊශ්‍රායල හමුදා විසින් සිරියාවේ ඩැමස්කස් අගනුවර පිහිටි ඉරාන තානාපති කාර්යාල ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයෙන් ඉරාන විප්ලවීය හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු ඇතුළු නිලධාරින් නව දෙනෙකු මිය යාමේ සිදුවීම බව වාර්තා වී තිබේ. ඩැමස්කස් නගරයේ ඉරාන තානාපති කාර්යාලය වෙත එල්ල කළ ප්‍රහාරයට එරෙහිව ප්‍රහාර එල්ල කරන බවට ඉරානය විසින් අනතුරු ඇඟවීමක්ද කර තිබූ අතර ඉකුත් සති අන්තයේදී ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරනු ඇති බවට ඇමරිකාව විසින්ද අනතුරු අඟවා තිබිණි. ඉරානය විසින් ඉරාන, ඉරාක, සිරියා හා යේමන කලාපයන්හි සිට මෙම ප්‍රහාරයන් ඊශ්‍රායලය වෙත එල්ල කර ඇති අතර අදාළ රටවල සිටින අන්තවාදී කණ්ඩායම් එයට සහය දී තිබේ.

මේ අතර ඉරාන ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇති ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ මෙය අනපේක්ෂිත ප්‍රහාරයක් බවයි. මේ හේතුවෙන් මැදපෙරදිග යුද උණුසුමක් හටගෙන ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment