ආර්ථික පරිහානිය පිළිබඳ සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා – මහින්ද රාජපක්ෂ

381

ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් කැප වුණා

මෙරට ආර්ථික පරිහානිය සම්බන්ධයෙන් එල්ල කරන සියලු චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මෙවර අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ (21දා) පැවසීය.

සිය අයිතීන් නැති කළ යුතු යැයි කියන නායකයන් පසුගිය කාලයේ කළ කී දේවල් තමන්ට මතක ඇති බව කී හිටපු ජනාධිපතිවරයා තමන්ට මඩ ගැසුවත් තමන් ද මඩ ඇල්ලීමට අවශ්‍ය දැයි ඇසීය. අනුන්ගේ අයිතීන් නැති කිරීමට කතා කරන අය රටේ ජනතාවගේ අයිතීන් තහවුරු කිරීමට වැඩ කළ යුතු බවත් එදා සිට තමන් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් කැප වූ බවත් හෙතෙම කීවේය.

මෙවර අය වැය තුළ දැඩි මූල්‍ය විනයක් ඇති බවත් ආර්ථිකය සුබවාදී ලෙස ඉදිරියට ගෙන යෑමට මෙය හොඳ අවස්ථාවක් බවත් පැවසූ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර අයවැය පිළිබඳව මහජන නියෝජිතයන් ලෙස පෞද්ගලික කෝණවලින් බැලීම නොකළ යුතු බවත් එසේ කළහොත් මෙවර අයවැයේ රට ඉදිරියට ගෙන යන හොඳ යෝජනා අත්හැරෙනු ඇතැයි ද කියා සිටියේය.

ජනතාව අමාරුවේ නොවැටෙන ඉතා වැඩදායී අයවැය යෝජනාවලියකට සිය උපරිම සහාය ලබා දෙන බවද මෙරට ආර්ථිකය ජනතාව සමග ඉතා ඉක්මනින් නැගිටිය යුතු බව තම විශ්වාසය බව ද ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළේ අනාගතවාදී අයවැයක් බවත් පසුගිය අයවැය ද සැලකිල්ලට ගනිමින් මෙවර අයවැය සකස් කර තිබුණු බවත් රාජපක්‍ෂ මහතා පැවසීය.

ඊයේ පාර්ලිමේන්තු කාලයෙන් විනාඩි 10ක් මහින්ද රාජපක්ෂ මහතාට අදහස් දැක්වීම සඳහා වෙන්කර තිබිණ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment