සා. පෙළ විභාගයට දිගටම සහාය දෙන්න – විභාග කොමසාරිස් ජනරාල්

73

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඊයේ (23දා) ජනතාව ලබාදුන් සහයෝගය විභාගය අවසන් වනතෙක් ලබාදෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ඉල්ලීමක් කළේය.

විභාගය ඊයේ ආරම්භ වූ බවත් එදින දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් විභාගයට බාධාවන හෝ විභාගය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් විභාග දෙපාර්තමේන්තුවට වාර්තා වී නැතැයි ද ඒ මහතා කීය.

විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් නොයෙක් අපහසුතා මධ්‍යයේ විභාගය පැවැත්වීමට විශාල කැපකිරීමක් සිදුකරන බවත්, එයට පළාත්, කලාප අධ්‍යක්‍ෂවරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ආරක්‍ෂක අංශ ඇතුළු පාර්ශ්ව රැසකගෙන් විශාල සහායක් ලැබෙන බවත් එයට විභාග කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් තමා ස්තුතිය ප්‍රකාශ කරන බවත් ඒ මහතා කීය.

විභාගය ඊයේ ආරම්භ වී ජුනි 01 වැනිදා තෙක් පැවැත්වෙන අතර එම කාලවකවානුව තුළ මාර්ග අවහිර කිරීම්, විරෝධතා ඇතුළු විභාගයට පෙනී සිටින සිසුන්ට බාධාවන කිසිදු ක්‍රියාවක නිරත නොවන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment