සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ හලෝ ගොළු වෙලා

63

දිළිඳු ජනයාට රජය මගින් ලබාදෙන ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාවට නගන සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සමග සම්බන්ධ වීමට රජය මගින් ලබාදී ඇති දුරකථන අංක කිසිවකට කිසිවකු හෝ ප්‍රතිචාර නොදක්වන බවට ජනතාව චෝදනා කරති.

මේ පිළිබඳ ඇත්ත නැත්ත සොයා බැලීමට 011-2484500 / 011-2484600 / 011-2484700 සහ 1924 යන අංකවලට අප ඇමතුවද ඒ කිසිවකට කිසිවකු හෝ ආමන්ත්‍රණය නොකළ අතර, අවස්ථා කිහිපයකදී දුරකථන ඇමතුම් හිතා මතා විසන්ධි කරනු ලැබීය.

1924 හදිසි ඇමතුම් අංකයද ඊයේ පෙරවරුවේ ප්‍රතිචාර නොදැක්වූ අතර, පස්වරු එකට පමණ එම අංකය ඔස්සේ නිලධාරියකු සම්බන්ධ කරගැනීමෙන් පසු ආයතනයට දුරකථන ඇමතුම් ලබාගැනීමේ දුෂ්කරතාව පිළිබඳව එම නිලධාරියාගෙන් කරුණු විමසූ විට ඔහු කියා සිටියේ මුදල් අමාත්‍යාංශය හරහා පමණක් තම ආයතනයට දුරකථන පණිවිඩ ලැබෙන බව හා 1924 හදිසි ඇමතුම් අංකය හැරෙන්නට වෙනත් ඍජු දුරකථන අංකයක් තම ආයතනයට නොමැති බවයි.

එසේ නම් මුදල් අමාත්‍යාංශයට අනුයුක්තව දුරකථන ක්‍රියාකරුවකු නොසිටීදැයි ජනතාව ප්‍රශ්න කරති. ජීවනාධාර සම්බන්ධව විමසීම් කරන ජනතාවට මේ නිසා බලවත් දුෂ්කරතාවකට මුහුණ දීමට සිදුව ඇති බවත් මේ සඳහා ඍජු අංකයක් ලබාදෙන ලෙසත් ජනතාව ඉල්ලා සිටිති.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment