වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය අද

148

හොඳටම පේන්නේ අලුයම 1.44 ට – මහාචාර්ය චන්දන ජයරත්න

සූර්යග්‍රහණ දෙකක් සහ චන්ද්‍රග්‍රහණ දෙකක් සහිත මෙම වසරේ අවසාන ග්‍රහනය අද (28 දා) පුර පසළොස්වක දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම යුරෝපය, ආසියාව, ඔස්ටේ්‍රලියාව, අප්‍රිකාව, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව යන ප්‍රදේශවලට ද දිස්වණු ඇත.

අර්ධ චන්ද්‍රග්‍රහණයකදී පෘථිවිය, සූර්යයා සහ චන්ද්‍රයා අතරට පැමිණෙන නමුත් ඒවා සරල රේඛාවක් සාදන්නේ නැත. මෙය සිදුවූ විට, චන්ද්‍රයාගේ පෘෂ්ඨයෙන් කුඩා කොටසක් මතට පෘථවියේ සෙවනැල්ලේ අඳුරුතම කොටස (පූර්ණ ඡායාව) පතිත වෙයි.

චන්ද්‍රග්‍රහණය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් අද රාත්‍රි 11.32 ට චන්ද්‍රයා පෘථිවියේ උප ඡායාවට (අඩ අඳුරු සෙවනැල්ල) ඇතුළු වීමත් සමගය. අර්ධ චන්ද්‍රග්‍රහණයේ පියෙවි ඇසට දෘශ්‍යමාන කොටස 29 වන දින අලුයම 1.05 ට චන්ද්‍රයා උම්බ්‍රා හෙවත් පෘථිවියේ සෙවණැල්ලෙහි තද අඳුරු පූර්ණ ඡායාව කොටසට ඇතුළුවීමත් සමග ආරම්භ වන අතර අලුයම 2.23 ට චන්ද්‍රයා ඉන් පිටවන විට අවසන් වේ. උපරිම ග්‍රහණ අවස්ථාව අලුයම 1.44 ට ඇතිවන අතර එවිට සඳ මතුපිටින් 6% ක් පමණ පූර්ණ ඡායාවෙන් ආවරණය වී ග්‍රහණය දැකිය හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. මුළු කාලය පැය 4 කුත් විනාඩි 25 ක් වූ මෙම චන්ද්‍රග්‍රහණයේ අවසානය 29 වැනිදා අලුයම 3.56ට පෘථිවියේ උප ඡායාවෙන් චන්ද්‍රයා ඉවත් වීමත් සමග සිදුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment