ශ්‍රී ලංකාවේ තවත් ජාත්‍යන්තර තෙත් බිමක්

මෙවර අපගේ සංචාරය කුමන ජාතික උද්‍යානය වෙතටය. ඒ ශ්‍රී ලංකාවේ තවත් රැම්සා ජාත්‍යන්තර තෙත්බිමක් මේ වන නිසාය. බූන්දල, ආනවිලුන්දාව, විල්පත්තුවෙන් පසු මීළඟට අපට කතාකරන්නට ඇත්තේ කුමන ජාතික උද්‍යානය නමුත්, අනුපිළිවෙළට ගන්නේ නම්, කුමන ජාතික උද්‍යානය රැම්සා ජාත්‍යන්තර තෙත් බිමක් බවට පත්වන්නේ මාදු ගඟට හා වන්කාලේ අභය භූමියට පසුව නමුත් විල්පත්තුව උද්‍යානයට පෙරය.

කුමන ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ පැරණිතම ජාතික උද්‍යානයකි. යාල සහ විල්පත්තුව ජාතික උද්‍යාන ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට පත්කරන ලද උද්‍යාන අතර ප්‍රමුඛතාව ගන්නා කුමන, අතීතයේ සිට ප්‍රකටව ඇත්තේ “යාල නැගෙනහිර” ජාතික උද්‍යානය ලෙසිනි. ඒ යාලත් කුමනත් නිවුන් සොයුරන් සේ එකට එක්ව එකට යාව පිහිටා ඇති නිසාය. නමුත් මෙම උද්‍යාන දෙක පරිපාලන දිස්ත්‍රික්ක දෙකකට (අම්පාර හා මොණරාගල) අයත් වන අතර, එකම වනාන්තර සංකීර්ණයක් වන යාල හා කුමන දෙකකට වෙන්කරන්නේ කුඹුක්කන් ඔය මගිනි. බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල දෙසින් ආරම්භ වන කුඹුක්කන් ඔය බුත්තල – මොණරාගල ප්‍රධාන මාර්ගය හරහා ගොස් අනතුරුව වත්තේගම – කැබිලිත්ත රක්ෂිතය ඔස්සේ මුහුද සිපගැනීම දක්වා ඉදිරියට ඇදෙන්නේ යාල සහ කුමන වනෝද්‍යාන දෙපසට බෙදා මෙම වන රක්ෂිත දෙකටම පෝෂණය සලසමිනි. එනම්, යාල හා කුමන වන සංකීර්ණයේ වෙසෙන දහසකුත් ලොකු, කුඩා වන සතුන්ට, තුරු ලතාවන්ට සිසිලස පිපාසය නිවන්නට කුඹුක්කන් ඔය දියවර සපයන්නේය.

මීට පෙර අපි යාල ජාතික උද්‍යානය පිළිබඳවද “හරිත-සංචාරේ” තුළින් ඔබව දැනුවත් කර ඇත්තෙමු. මෙවර අප කුමන නොහොත්, යාල-නැගෙනහිර ජාතික උද්‍යානය පිළිබඳව කරුණු කියන්නට එහි සංචාරය කළේ පෙර කී පරිදි කුමන තවත් එක රැම්සා ජාත්‍යන්තර තෙත්බිමක් නිසා එම වැදගත්කම නිසාය.

නැගෙනහිර අම්පාරේ දකුණු කෙළවර මුහුද අද්දර පිහිටා ඇති මෙම ජාතික උද්‍යානයට ප්‍රවේශ මාර්ගය ඇත්තේ කොළඹ සිට නම්, වැල්ලවාය – බුත්තල -මොණරාගල – සියඹලාණ්ඩුව – ලාහුගල – පොතුවිල -අරුගම්බේ – පානම ඔස්සේය. සැබැවින්ම අද කුමන නොහොත් යාල – නැගෙනහිර ජාතික උද්‍යානය යනු අතීතයේ “කුමන” නම් ගම්මානයද ඇතුළත්ව ප්‍රකාශයට පත්කරන ලද අවට රක්ෂිත වනාන්තරයයි. එනමුත් දැන් එහි “කුමන” නමින් ගම්මානයක් නොමැති නමුදු, අතීත කුමන ගම්මානයේ ගරාවැටුණු පාසල් ගොඩනැඟිල්ල ඇතුළු නිවාස නටබුන්, ගම්වැසියන් විසින් වවා තිබුණු පොල් ගස් මණ්ඩියක් යනාදිය අතීත කුමන ගම්මානයේ ශ්‍රී විභූතිය ගැන සාක්ෂි සපයයි.

රටක් වටින යාල-නැගෙනහිර රැම්සා කලපු සංකීර්ණය

කුමන යනු 1818 සිංහලේ මහා කැරැල්ල නිසා බිහිවුණු ගම්මානයකි. සුදු ආණ්ඩුවට එරෙහිව කැප්පෙටිපොළ නිලමේ ප්‍රමුඛ සිංහලුන් විසින් ඇතිකරන ලද කැරැල්ල නිසා කෝපයට පත් බි්‍රතාන්‍ය ආණ්ඩුව සියලු වෙර යොදා එදා සිංහල ගම්මාන ඇතුළු වෙල්ලස්සේ ජනසංහාරයක් සිදුකරන ලද අතර, එම භීතියෙන් පළා ගිය සිහලුන් විසින් ඇති කරන ලද ලාහුගල, පොතුවිල, පානම වැනි ගම්මාන අතර බිහිකළ කුමන ගම්මානය වසර සිය ගණනක් අමිහිරි මතක සඟවාගෙන පැවති ගම්මානයකි. නමුත් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජාතික උද්‍යානය ප්‍රකාශයට පත්කිරීමේදී කුමන ගම්මාන වැසියන්ට මහවැලි ඉඩම් ලබාදුන් අතර කුමන ගම රක්ෂිතයට අයත් කෙරිණි.

කුමන පැරණි ගම්මානය පිහිටි ඉසව්වේම ප්‍රකට කුමන විල්ලුව පිහිටා ඇත. සිය දහස් ගණනක දේශීය හා විදේශීය කුරුල්ලන්ගේ නිජබිමක් වන මෙම ස්වභාවික විල්ලුව නිසාම කුමන ජාතික උද්‍යානයද දේශ දේශාන්තරයේ ප්‍රකටවී ඇත. විදේශයන්ගෙන් මෙහි එන නෙක වර්ණයේ, නෙක වර්ගයේ පර්යටනික කුරුල්ලෝ මෙහි ආහාර බුදිමින් තම ශීත කාලය මෙහි ගතකරන අතර, තවත් විශේෂ
ගණනාවක කුරුල්ලෝ කුමන විල්ලුවේ ඇති රුක් මත, පිටිවල හා පන්ගාල් අතර කැදලි තනා තම පරපුර බෝකරන අයුරු ඉතා සිත්කළු දර්ශනයකි.

එසේම, කුමන ජාතික උදායනයේ වන බද මාර්ගවල හා විවෘත පිටිවලද වන සතුන් ඉතා හොඳින් දැකගත හැකිය. කොටියා නොහොත් ශ්‍රී ලංකානු දිවියා දැක ගන්නට කුමන උද්‍යානය ඉතා කදිම තැනකි. වළසුන් ද කුමන වනෝද්‍යානයට ආභරණයකි. ගෝනුන්, මුවන්, වල් හරකුන් රංචු ලෙස දැකගත හැකිය. ඒ සියල්ලටත් වඩා කලපු පද්ධතියකින් පොහොසත් කුමන පෙරකී පරිදි ජලාශ්‍රිත කුරුල්ලන්ගේ නිජබිමක් වන අතර, කිඹුලන්ගේ ද රජදහනකි. ඔකඳවෙල – ගිරිකුල – බාගුර – කුඩාවිල -තුන්මුල්ල – කොටි ලිඳ විල – අන්දරකල – ඉටිකල -යාකල – කුමන විල්ලුව නමින් සංකීර්ණ කලපු (තෙත්බිම්) පරිසර පද්ධතියකින් සමන්විත වන නිසාම කුමන ජාතික උද්‍යානය ජාත්‍යන්තර රැම්සා තෙත්බිමක් ලෙසද ප්‍රකාශයට පත්කරන්නට යෙදුණු අතර, ඒ මගින් කුරුල්ලන් ඇතුළු ජෛව විවිධත්වයට දක්වන ඉතා ඉහළ වටිනාකමද, ප්‍රදේශයේ ජනයාට මෙමගින් ඇතිකරනු ලබන වටිනාකම්ද මෙසේ රැම්සා අන්තර්ජාතික තෙත්බිමක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සඳහා බලපා ඇත.

කෙසේ හෝ මෙවර අපගේ “සංචාරේ” චාරිකාවේදී අපි කුමන ජාතික උද්‍යානය වෙත ප්‍රවිෂ්ඨ වුණේ කිලෝමීටර් 200 කට ආසන්න දුරක් ගෙවා දමමිනි. පානම – ඔකඳ ප්‍රදේශ පසුකර උද්‍යානයට ඇතුළුවූ අපි උද්‍යානයේ වටිනාකම් ඉතා ඉහළින් අත්විඳි අතර, සංචාරකයන්ට ඕනෑ නම් මෙහි “තුන්මුල්ල” නමින් සංචාරක නිවහනක් මෙන්ම, “ඇද කුඹුක”, “කුඹුක්කන් ඔය මෝදර” නමින් කඳවුරු බිම් කිහිපයක්ද ඇති බවද සිහිපත් කළ යුතුය. අප එහි සිටි කාලයේදී “කුඹුක්කන් ඔය මෝදර” කඳවුරු බිම අපගේ නවාතැන වූ බවද සිහිපත් කළ යුතුය.

හිරු උදාව නරඹන්නට මෙන්ම, පරිසරය හිතූ ලෙස විඳින්නට ඉතා කදිම කඳවුරු බිමක් වන කුඹුක්කන් ඔය මෝදර, අතිශය අලංකාර වෙරළ හා ගංගා දෑල පරිසර පද්ධතියකි. මෙහිදී කුඹුක්කන් ඔය මුහුද සිපගන්නේ ඍජුවම නොව, මහා මුහුද පෙනී පෙනී තවත් කිලෝමීටර් භාගයක් පමණ මුහුදු වෙරළට සමාන්තරව ගමන් කිරීමෙන් අනතුරුවය. එනිසාම කරදිය හා මිරිදිය පරිසර පද්ධති දෙකක එකතුවක් බලාගන්නට තවත් ගංගා දෑල මෙන්ම කුඹුක්කන් ඔය මෝදරද ඉතා වටිනා, දුලභ තැනකි.

උද්‍යානයේ ගත කළ දින කිහිපයේ මෙසේ වෙරළ පරිසරය මෙන්ම, වන බද පරිසරයත්, ඇදකුඹුක පුංචි කබිලිත්ත දේවාලය හා විල්ලු පරිසරය මෙන්ම, කලපු පරිසරය විඳීමටත් අපි අමතක නොකළෙමු. එනිසාම ඉතා ඉහළ ජෛව විවිධත්වයක මිහිර විඳින්නට අපට මෙම සංචාරයේදී හැකිවිය. අලි – ඇතුන් ඇතුළු බොහෝ කිරි උරන්නන් මෙන්ම, කිඹුලාගේ සිට කුඩා උරගුන් දක්වාද, ඉතා ඉහළ පක්ෂි විවිධත්වයක්ද මේ ගමනේදී අපි රසාස්වාදනය කළෙමු. මේ ගමනේදීම උද්‍යානයෙන් ඉවතට ඇති අතිශය වන බද, එසේම දුෂ්කර බඹරගස්තලාව ප්‍රදේශයටද ගමන් කළ නමුත් ඒ පිළිබඳව කතා පසුවට තබා අද අප කතා කරන්නේ කුමන උද්‍යානයේ සාමාන්‍යයෙන් සංචාරකයන් ගමන් ගන්නා කලපු ප්‍රදේශය ඇතුළත් රැම්සා තෙත්බිම් කලාපයේ බවද සිහිපත් කළ යුතුය.

කොළඹින් ඉතා දුර බැහැර වුවත්, විල්පත්තුව සේ මෙන්ම, කුමන වනෝද්‍යානයට යන සංචාරකයන්ට ඉතා වෙනස් ආකාරයේ අත්දැකීමක් ලබාදෙන්නට කුමන ජාතික උද්‍යානය සෑදී පැහැදී සිටින්නේය. ශ්‍රී ලංකාවේ ඇති අතිශය වටිනා අතිශය අද්විතීය පරිසර කලාපයක් වන කුමන නොහොත් යාල නැගෙනහිර වනෝද්‍යානය අභය බිමක් ලෙස වන සතුන් දහස් ගණනකට නිවහන වීමම වටිනාකමකි. එසේ හෙයින් මෙවර අපගේ “සංචාරේ” කුමන අභය භූමියේ ගත කළ අතිශය ආනන්දජනක එකක් බවට පත්විය.

රටක් වටින යාල-නැගෙනහිර රැම්සා කලපු සංකීර්ණය

සැරිසර – ජගත් කණහැරආරච්චි
කැමරාව – වාසල සේනාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment