මෙන්න අලුත්ම අනාවරණය..

රටේ පැවති ආර්ථික අර්බුදය ක්‍රමක්‍රමයෙන් සමනය වෙමින් පැවතියද රට්ටුන්ට තවමත් පෝෂ්‍යදායී සමබල ආහාර වෙලක රසබැලීමට නොහැකි වී ඇත. භාණ්ඩ මිල අහස උසට නැග තිබේ. මෙවන් පසුබිමක් තුළ රටේ ජනතාවට සිදුවී ඇත්තේ තුන්වේල කෙසේවෙතත් එක් කෑම වේලකින් හෝ දෙවේලකින් තම බඩ කට පුරවා ගැනීමටය. ආහාර ද්‍රව්‍යවල මිල ඉහලයෑම නිසා අඩුම තරමේ බිත්තරයක්, මාළු කැබැල්ලක්, එළවළුවක්, තම කෑම වේලට එකතුකර ගැනීමට ඇතැමුන්ට නොහැකි වී ඇත. පහසුවෙන්ම පෝෂණය ලබාගත හැකි බිත්තරයක මිලද මේ වනවිට විදුලි වේගයෙන් වැඩිවී ඇත. දිනපතා ඉහළයන ආහාර ද්‍රව්‍යවල මිල හමුවේ පෝෂ්‍යදායි ආහාර වේලක් කෙසේවෙතත් තමන් කැමති ආහාර වේලක් පවා ලබාගැනීමට රට්ටුන්ට නොහැකි වී ඇත.

කොටින්ම කිවහොත් තම පවුලේ බඩවියත රැකගැනීම සඳහා රටවැසියන්ට දැඩි අරගලයක නිරතවීමට සිදුවී තිබේ. පාලකයන්ට නම් මේ ගැන වගේ වගක් නැත. රට සුරපුරයක් බවට පත්ව ඇති බව පාලකයන්ගේ හැඟීමයි. මෙහිද අපට කීමට ඇත්තේ අපි කන හැටි ළිපා දන්නා බවය.

ඒකොයිහැටිවුවද ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීම හමුවේ බරපතළ ලෙස පෝෂණ අර්බුදයට ලක්ව ඇත්තේ අපේ රටේ පාසල් ප්‍රජාව හා අවුරුදු පහට අඩු දරුවන්ය. ලොව ඉහළම බර අඩුවීමේ මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාව එක්ව ඇති බව බ්‍රිතාන්‍ය ලැන්සෙට් වෛද්‍ය සඟරාව පසුගිය පෙබරවාරි 29 වැනිදා තම පර්යේෂණ වාර්තාවක් මගින් අනාවරණය කළේය. එම පර්යේෂණ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5 – 19ත් අතර පාසල් යන වයසේ පසුවන ගැහැනු දරුවන් අතුරින් හාරලක්ෂ දසදහසක් ( 4 10 000) වයසට සරිලන බර නොමැතිවීමේ මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු වී ඇත. ප්‍රතිශතයක් වශයෙන් ගත්කල එය සියයට 16.4කි. මෙය ඇඟකිලිපොලා යන කථාවකි. මෙකී පර්යේෂණ වාර්තාවට අනුව ලොව වයසට සරිලන බර නොමැති ගැහැනු දරුවන් අතර එම ප්‍රතිශතය දෙවැනි වන්නේ ඉන්දියාවට පමණි. ලැන්සෙට් වෛද්‍ය සඟරාවට අනුව මෙ රට පිරිමි දරුවන් අතර වයසට සරිලන බර නොමැති පිරිමි දරුවන්ගේ ප්‍රතිශතය සියයට 17.8 කි. ඒ අනුව පිරිමි දරුවන් 4.50000ක් පෝෂණ අර්බුදයට ලක්ව ඇති අතර සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතරින් 8 60 000 ක් වයසට සරිලන බර නොමැති බව මෙකී පර්යේෂණයේ දී අනාවරණය වී ඇත.

වයසට සරිලන බර, උසට සරිලන බර, වයසට තිබිය යුතු උස, නොතිබීම වැනි පෝෂණ අර්බුද රැසකට ශ්‍රී ලංකාවේ දරුවන් ලක්වන බව යුනිසෙෆ් ආයතනය සහ ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් නිකුත්කොට තිබූ වාර්තා මේ බව අනාවරණය කොට තිබුණි. ඇතැම් දරුවන් බර අඩුවීමේ අර්බුදයට අමතරව උස අඩුවීමේ අර්බුදය යන දිවිත්ව අර්බුදයන්ටම ලක්වන බවද ජාත්‍යන්තර ලැන්සෙට් වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ. ලොව පුරා රටවල් 199ක මිලියන 220ක ජනගහනය ආශ්‍රිතව පර්යේෂකයන් 1900 දෙනකුගේ සහභාගිත්වයෙන් සිදුකළ එම පර්යේෂණයේදී ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් උසට සරිලන බර ප්‍රධාන නිර්ණායකයක් ලෙස යොදාගෙන ඇත.

1990-2022 කාලසීමාව යොදාගෙන මෙම පර්යේෂණය සිදුකොට ඇති අතර ගෙවී ගිය වසර තිහක කාල සීමාවේ දී ලොව බොහෝ රටවල් පෝෂණ අර්බුදය විසඳීමට සමත්ව ඇතත් ආර්ථික අර්බුදය මැද පවා දරුණු ලෙස මන්දපෝෂණ තත්ත්වයට ගොදුරු වූ ශ්‍රී ලංකාව මේ වන විට එම තත්වයෙන් ක්‍රමිකව මිදී ඇතත් තවමත් පෝෂණ අර්බුදය විසඳා ගැනීමට අසමත් වීම මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

ඒ විතරක් නොව පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් 2023 වර්ෂයේ පෝෂණ මාසයේ නිකුත්කොට ඇති වාර්තාවට අනුව උසට සරිලන බර නොමැති (lDI) පාසල් දරුවන්ගේ ප්‍රතිශතය 2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේ දි සියයට 19.5 සිට සියයට 21.0 දක්වා වැඩිවි ඇත. 2022 වර්ෂයේ පෝෂණ මාසයේ දත්ත අනුව උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සියයට 19.5කි. එහෙත් 2023 වර්ෂයේ පෝෂණ මාසයේ දි මෙම ප්‍රතිශතය සියයට 21.0 දක්වා වැඩිවී ඇති බවද මෙකී වාර්තාවේ සඳහන් වේ. උසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය වැඩිවී ඇත්තේ 1,4,7,10 යන ශ්‍රේණිවල ඉගෙනුම ලබන පාසල් දරුවන්ගේ බවද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

නුවරඑළිය, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, යාපනය, කිලිනොච්චි, මන්නාරම, මුලතිව්, වවුනියා, කෑගල්ල, රත්නපුර, හම්බන්තොට, කොළඹ යන දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල උසට සරිලන බර නොමැති පාසල් දරුවන්ගේ ප්‍රතිශතය 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී වැඩිවී ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ. කෘෂ බව මගින් කෙටි කාලයක් තුළ දරුණු ලෙස බර අඩුවීමක් දැකිය හැකි අතර ඇතැම් විට මෙම තත්ත්වය කාලයක් තිස්සේද පැවතිය හැක. ආහාර ප්‍රමාණය හා ශක්තිජනක ආහාර අවශ්‍ය ප්‍රමාණයෙන් නොලැබීම මෙම තත්ත්වයට හේතුවිය හැකි බවට ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරු පෙන්වා දෙති.

පාසල් දරුවන් අතර පමණක් නොව වයස අවුරුදු පහට අඩු දරුවන් අතරද කෘෂ බව වැඩිවී තිබේ. මෙකී දරුවන් අතර කෘෂිබව ඉහළම ප්‍රතිශතයක් වාර්තා වන්නේ පොළොන්නරුව, මාතලේ හා අනුරාධපුර යන දිස්ත්‍රික්කවලනි.

එමෙන්ම වයස අවුරුදු පහට අඩු දරුවන් අතර අඩුබර දරුවන්ගේ ප්‍රතිශතයද වැඩිවී තිබේ. 2023 වර්ෂයේ පෝෂණ මාසයේ දත්ත අනුව එම ප්‍රතිශතය සියයට 17.1කි. ඉහළම අඩුබර දරුවන්ගේ ප්‍රතිශතය වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රතිශතය සියයට 26.4කි. 2022 වර්ෂයේ පෝෂණ මාසයේ දත්තවලට සාපේක්ෂව වවුනියාව දිස්ත්‍රික්කය හැර අනිකුත් සියලුම දිස්ත්‍රික්කවල අඩුබර දරුවන්ගේ ප්‍රතිශතය වැඩිවී ඇත. නාගරික, ග්‍රාමිය හා වතු යන සියලු අංශවල අඩුබර දරුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරයි.

එමෙන්ම වයස අවුරුදු පහට අඩු මිටි දරුවන්ගේ ප්‍රතිශතය ද ඉහළ ගොස් ඇත. වයසට අදාළව උස නොමැතිවීම මිටි බව ලෙස හැඳින්වේ. නිතර නිතර රෝගීවීම, ජීවිතයේ මුල්ම අවධිය තුළ නිසි ආහාර හෝ රැකවරණය නොලැබීම, මාතෘ සෞඛ්‍ය හා පෝෂණයේ අඩුපාඩු ද්‍රරිද්‍රතාව නිසා ඇතිවන දිගුකාලීන මන්දපෝෂණය නිසා මෙම තත්ත්වය ඇතිවිය හැකි බව ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු පෙන්වා දෙති. මිටි දරුවන් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි.

ඒ විතරක් නොව පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් 2023 වර්ෂයේ පෝෂණ මාසය තුළ කරනු ලැබූ සමීක්ෂණයට අනුව මෙරට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු 05ට අඩු දරුවන් 15758 දෙනකු සහ මධ්‍යස්ථ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 120230 දෙනකු හඳුනාගෙන තිබේ.

මෙම සමීක්ෂණයට අනුව වයස අවුරුදු 05ට වඩා අඩු දරුවන් අතර අඩුබර දරුවන්ගේ සංඛ්‍යාව 232004කි. එමෙන්ම වයස අවුරුදු 05ට වඩා අඩු දරුවන් අතර වයසට සරිලන උස නොමැති දරුවන්ගේ සංඛ්‍යාව 140414ක් බවද මෙකී වාර්තාවේ සඳහන් වේ. අධික ස්ථුලතාවයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව 5850කි. මෙකී වාර්තාවට අනුව උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 1439 දෙනකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන දරුවන් සංඛ්‍යාව 1432 දෙනෙකි.

2022 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දි උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 18420 දෙනකු වාර්තා වී තිබූ අතර ඒ අනුව 2023 වර්ෂයේ දි උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව සියයට 12 දක්වා අඩුවී ඇත. 2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේ දි අවුරුදු 05ට අඩු දරුවන් අතර වර්ධනය අඩාලවීම, අඩුබර, මිටිබව, ප්‍රතිශතවල වැඩිවීමක් පෙන්නුම් කරන බවද මෙකී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. ශ්‍රී ලංකාව තුළ නිරක්තයෙන් පෙළෙන ගැබිනි මව්වරුන්ගේ ප්‍රතිශතය සියයට 14.3 සිට සියයට 16.0 දක්වා වැඩිවී ඇති බැව් ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් 2023 වර්ෂයේ පෝෂණ මාසයට අදාළව නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

නිරක්තයෙන් පෙළෙන ඉහළම ගැබිනි මව්වරුන්ගේ ප්‍රතිශතය යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම ප්‍රතිශතය සියයට 28.3කි. දෙවන ඉහළම ප්‍රතිශතය වාර්තාවන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රතිශතය සියයට 25.6කි. 2022 හා 2023 යන වර්ෂවල දි සති 26, හා 28 දි නිරක්තයෙන් පෙළෙන ගැබිනි මව්වරුන්ගේ ප්‍රතිශතය සියයට 22ක් බවද මෙම වාර්තාවේ සඳහන් වේ.

යකඩ ඌනතාවයෙන් පෙළෙන ගැබිනි මව්වරුන්ගේ සංඛ්‍යාව සියයට 11ක්වන අතර විටමින් ඩී ඌනතාවයෙන් පෙළෙන ගැබිනි මව්වරුන්ගේ සංඛ්‍යාව සියයට 35.6කි. අඩු උපත් බර දරුවන්ගේ සංඛ්‍යාවද වැඩිවී ඇති අතර එය සියයට 15.1කි. අඩු උපත් බර දරුවන්ගේ ඉහළම ප්‍රතිශතය වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එය සියයට 23.7කි.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්ය සාධන හා ප්‍රගති වාර්තාවට අනුව මෙරට ඉකුත් මාස 17 ක කාලය තුළදි (2022 ජනවාරි මස සිට 2023 මැයි දක්වා) සෘජු හා වක්‍ර හේතුන් මත මාතෘ මරණ 119ක් සිදුවී තිබේ. මෙම මාතෘ මරණ ක්ෂේත්‍ර හා ආයතනික මට්ටමින් ඉතා සුපරික්ෂාකාරීව විමර්ශනය කර එක් එක් සිද්ධියට අදාළ තත්ත්වයන් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට ක්‍රියාකොට ඇති බව මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

මාතෘ මරණ පිළිබඳ නිරීක්ෂණ හා විමර්ශන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බස්නාහිර හා දකුණු පළාත් වල නියමු ව්‍යාපෘතියක් ලෙස මාතෘ මරණ පිළිබඳ රහස් පරීක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ. මෙරට මාතෘ මරණ අනුපාතය අඩු කිරීම සඳහා මෙරට සියලුම රෝහල්වල මාතෘ හා ප්‍රසව මරණ නිරීක්ෂණ සහ ප්‍රතිචාර කමිටු පිහිටුවා ඇත.

ආර්ථික අර්බුදය මෙන්ම දෙමව්පියන්ගේ නොදැනුවත්කම මෙන්ම වැරදි පෝෂණ පුරුදු මේ සඳහා බලපා ඇති බව ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිහු පෙන්වා දෙති. කෙසේවුවද මේ අන්දමට මන්දපෝෂණයට ගොදුරු වීමේ ප්‍රතිඵලයක් ලෙස දරුවන්ගේ එන්සයිම සහ හෝමෝන නිෂ්පාදනය අඩාල වන අතර එදිනෙදා කායික ක්‍රියාවන් බිඳ වැටීමෙන් ප්‍රතිශක්තීකරණය ඌණ වීම ඇතුළු කායික රෝග රැසකට දරුවන් ගොදුරු වෙයි. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ මේ තත්ත්වය නිසා දරුවන්ගේ මානසික වර්ධනය අඩාල වීමට සෘජුව හේතුවක් වන අතර ඒ හරහා ලංකාව වැනි රටවල්වල ජාතික සංවර්ධන ද කාර්යයට දායක කර ගත හැකි උගත් බුද්ධිමත් තරුණ පරපුරක් බිහිකර ගැනීමට පවතින අවස්ථා ඌණ වියහැකි බවය.

මේ අන්දමට පාසල් දරුවන් දරුණු ලෙස පෝෂණ අර්බුදයට ගොදුරු වීමේ ප්‍රතිඵලයක් ලෙස එම දරුවන් කායික රෝගවලට මෙන්ම මානසික වර්ධනය අඩාල වීමෙන් මන්දබුද්ධික දරු පරපුරක් බිහිවීමට ඉහළ අවදානමක් පවතින බව ද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන්නේය. දරුවන්ගේ පෝෂණ අර්බුදය ගැන පාලකයන්ගේ අවධානය යොමු විය යුතු වුවත් බොහෝවිට තමන් පෙන්වා දෙන දත්ත ගැන අවතක්සේරු ලක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රටේ දරු පරපුර දරුණු ලෙස පෝෂණ අර්බුදයන්ට ලක්වෙමින් පවතින බව මෙම ජාත්‍යන්තර වාර්තාව මගින් යළිත් සනාථ වන බවද ඔහු සඳහන් කරයි. සමස්තයක් ලෙස ලෝ පුරා වයසට සරිලන අඩුබරකින් සමන්විත ගැහැනු සහ පිරිමි දරුවන්ගේ ප්‍රතිශතය මේ වන විට අඩුවෙමින් පවතීන අතර ශ්‍රී ලංකාව තුළ එම අගය ඉහළ අගයක් ගැනීම බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතු බව වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් පෙන්වා දෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment