NPP පෙන්වන්නේ පොඩි ෂෝ එකක්… පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහණී විජේරත්න කවිරත්න

136

විශ්වාසභංගය දිනුවත් පැරදුනත් අපි දිනුම්

බැසිල් නෙවෙයි ඩී.ඒ. රාජපක්ෂ ආවත් පොහොට්ටුව නග්ගනවා බොරු

සාටකයත් වැළලී අවසන්

හැඩට ගීත ගායනා කිරීමට ඇයට හැකි බව දැනගත්තේ පසුගිය දිනකය. කථානායකවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංගය, මැතිවරණ සඳහා වන සජබ සූදානම ඇතුළු දේශපාලන කරුණු විමසීමට මත්තෙන් ඒ ගැන විමසුවේ එහෙයිනි. මේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහණී විජේරත්න කවිරත්න මන්ත්‍රීතුමිය ‘දිවයින’ ඉරිදා සංග්‍රහය සමඟ සම්මුඛ අවස්ථාවේදී ලබා දුන් පිළිතුරුය.

ප්‍රශ්නය – දේශපාලනය ඔබතුමියගේ වැරදි තෝරා ගැනීමක් නේද?

පිළිතුර – ඒ මොකද ඒ..?

ප්‍රශ්නය – දේශපාලන කතාවලට වඩා හොඳට දේශපාලන වේදිකාවක් තුළ ඔබතුමිය ගීත ගායනා කරනවා අපි දැක්කා. මට මතක හැටියට ගාල්ල කාන්තා බල මණ්ඩල රැස්වීම වෙන්න ඕනා.

පිළිතුර – හහ්..හහ්..හා..(තදින් සිනා සෙමින්) දේශපාලඥයෝ ද මනුෂ්‍යයෝය.

ප්‍රශ්නය – පබසර රන් පබලු.. මිනිමුතු කැන් ඔපලූ.. ඒ ගීතය හරි හොඳට කියනවා. ඔබ ගීත ගායනා කරන දර්ශනයක් පළමු වතාවට මම දැක්කේ. ගීත ගායනා පැත්තෙන් ඉදිරියට ගියානම් මීට වඩා ජනප්‍රසාදයක් දිනා ගන්න පුළුවන් වේවි කියලා හිතනවා.

පිළිතුර – ඔව් එහෙම වෙන්නත් තිබුණා. හැබැයි දැන් ඉතින් දේශපාලනය පටන්ගෙනනේ තියෙන්නේ. මේ තුළින් රටටත් ජනතාවටත් කරන්න පුළුවන් සේවාව අතිමහත්. ඒ දේ ඉදිරියට කරගෙන යනවා. දේශපාලනය, කලාව ඇතුළු ඕනම තැනක කළු සුදු මිනිස්සු ඉන්නවා. ඒ අතරේ මඩ ගොහොරුවේ පිපුණු නෙළුම් වගේ මිනිස්සුත් ඉන්නවා.

ප්‍රශ්නය – හොඳයි.. අපි දේශපාලනය දෙසට හැරෙමු. මේ මැතිවරණ වර්ෂයක්. ජනාධිපතිවරණයේ අනිවාර්යයෙන්ම නිශ්චිත කාලසීමාවක් තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා. නමුත් ඊට ප්‍රථම මහ මැතිවරණයකට ආණ්ඩුව පෙළඹෙන බවත් සඳහන්. මැතිවරණ සඳහා සමගි ජන බලවේගය සූදානම කොහොමද ?

පිළිතුර – කිනම් වූ මැතිවරණයක් පැමිණියත් අප පක්ෂය ඊට සූදානම්. අපි කවදත් බිම මට්ටමේ ජනතාවත් සමග සිටි පක්ෂයක්. ඒ නිසා මැතිවරණය කුමක් වුවත්, අපි ඒ සඳහා සූදානම්. කයිවාරු දේශපාලනයට එහා ගොස් හරි දේශපාලනය කරන නිසා ජනතාව අප සමඟ සිටිනවා. ෆයිල් පෙන්න පෙන්න දේශපාලනය කරන කයිවාරු කට්ටිය අතරේ අපි රාජපක්ෂවරු හොරු කියලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් ඔප්පු කර තිබෙනවා. ජනතාව දන්නවා වැඩ කරන්න පුළුවන් කණ්ඩායම කොයි පක්ෂද කියලා. එනිසා කුමන මැතිවරණයක් හෝ ඉක්මනින් තිබ්බොත් හොඳයි.

ප්‍රශ්නය – ජනාධිපතිවරණයකදී, ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් වන බව ස්ථීරයි. යම් හෙයින් පාර්ලිමේන්තු මැතිවරණයක් මුලින් පැමිණියහොත් අගමැති අපේක්ෂකයා කවුද ?

පිළිතුර – පළමුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැමිණියහොත් අගමැති අපේක්ෂකයා වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාම තමයි. මහ මැතිවරණයෙන් අනතුරුව ජනාධිපතිවරණය පැමිණියහොත් අගමැති තනතුර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට ලබාදී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරනවා.

ප්‍රශ්නය – හොඳයි. ඔබතුමිය මීට ප්‍රථමව සඳහන් කළ කාරණයක් තමයි, අපි කයිවාරු දේශපාලනය නොකරන බව. ඔබ ඒ වචන තුළ කවරෙකු හෝ ඉලක්කගත කළාද ?

පිළිතුර – කිසිවෙකු මා ඉලක්ක ගතකළේ නැහැ. හැබැයි දැන් ගොඩක් අය දන්නෙ කතා කරන්න විතරයි. වැඩ කරලා පෙන්නන්න දන්නේ නැහැ. බලන්න සමගි ජන බලවේගය දිහා. අපි විපක්ෂයේ සිට වුවත් කොච්චර වැඩ කරනවද. අපේ පක්ෂ නායක, විපක්ෂ නායක පක්ෂ අරමුදලට ලැබෙන මුදල් වලින් කොපමණ වැඩ කරනවද. අපේ බලය ඇති තැන, නැති තැන කියලා නැහැ. අපි මිනිස්සු වෙනුවෙන්, රට වෙනුවෙන් වැඩ කරනවා. අපේ පක්ෂය අනිත් පක්ෂවලට වඩා වෙනස් වන්නේ එතැනදී. අපි ළඟ කයිවාරු නැහැ, වැඩ විතරයි.

ප්‍රශ්නය – මීළඟ මැතිවරණයකදී සමගි ජන බලවේගයේ බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා එකතු වන බවට ඉඟි පළවෙනවා. ඒ සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු ඇමැතිවරයාත් විටින් විට අදහස් පළ කර තිබුණා. අපට ලැබෙන ආරංචි අනුවත් යම් පිරිසක් ජනාධිපතිවරයා වෙත නැඹුරු වන බවක් වාර්තා වනවා.

පිළිතුර – එහෙම එකක් නැහැ. අච්චර එනවා, මෙච්චර එනවා කිය කිය ඉන්නවා. හැබැයි යන කෙනෙක් නැහැ. මම දන්න තරමින් කිසිම කෙනෙක් යන්නේ නැහැ. ඕවා දේශපාලනයේදී කියන එක එක කතා විතරයි.

ප්‍රශ්නය – මන්ත්‍රීතුමිය, ගෙවල් ඇතුළේ ඇතිවන අඬදබර ගෙවල් ඇතුළෙම විසඳගෙන එක පවුලක් වගේ ඉදිරියට යන එක කොයි අතින් බැලුවත් හයියක්. සමගි ජන බලවේගය කියලා කියන්නෙත් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වුණු පිරිසක්. කැමති නැද්ද, පක්ෂ දෙකම එකතු වී ආණ්ඩු බලයක් ලබාගෙන එජාප පාක්ෂිකයන්ට සාධාරණයක් කරන්න.

පිළිතුර – ඔබ කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. සමගි ජන බලවේගය කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ව්‍යුත්පන්නව පැමිණි පක්ෂයක්. ඇත්තටම පක්ෂ දෙක එකතු වුණානම් බොහොම හොඳයි. රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති කරන්නට ඇත්තටම අපේ වයස ගියා. ගමේ භාෂාවෙන් කියනවනම් අපි නාකි වුණා.

ප්‍රශ්නය – හැබැයි ඔබනම් එහෙම නාකි බවක් පේන්නේ නැහැ.

පිළිතුර – හහ් හහ් හා.. නමුත් අපි ඒ සඳහා කට්ට කෑවනේ. දේශපාලනය වෙනුවෙන් අපට අපේ මහත්වරුත් නැති වුණා. එතුමාව ජනාධිපති කරන්නට කඳු හෙල් බඩගාපු අපිට අවසානයේ සිදුවුණේ එතුමාගේ අනින් කඳුළු ගෑස්, වතුර පාලවල් කන්නයි. එකතු වෙන්න හොඳයි කියන තැන මම ඉන්නවා. හැබැයි අපි පොහොට්ටුවේ දූෂිත පිරිසක් සමග එකතු වන්න කිසිම සූදානමක් නැහැ.

ප්‍රශ්නය – ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ අභියෝගය ඔබ පක්ෂය භාර ගන්නේ කොහොමද ?

පිළිතුර – ජාතික ජන බලවේගය ඔය පෙන්නන ෂෝ එක මහපොළොවේ තිබෙනවාද. එහෙම එකක් නැහැ. ඇත්තටම එම පක්ෂය අපට කිසිසේත් අභියෝගයක් නෙවෙයි. ඔවුන් කාන්තාවන් එකතු කරන්නේ කොහොමද කියලා ඒ ගම්බිම්වලට අපි ගියහම දැනගන්න ලැබුණා. වටපිටාවේ දිස්ත්‍රික්වල සියලු දෙනා එකතු කරලා තමයි සෙනඟ පෙන්නන්නේ. අපි මධ්‍යම පළාතේ කාන්තා බලමුළුව පැවැත්තුවා. කිසි කෙනෙක් පිටින් ගෙනාවේ නැහැ. බලන්නකෝ ඒකට හිටපු සෙනඟ.

සමාජ මාධ්‍යවල පෙන්නන රැලි මහපොළොවේ නැහැ. ඔවුන්ට යම් වැඩිවීමක් තිබෙන්න පුළුවන්. හැබැයි පෙන්නන එක තරම් දෙයක් නැහැ. ජනාධිපතිවරයකු පත්කර ගන්න තරම් පාර්ලිමේන්තු බලයක් ලබාගන්න තරම් මහපොළොවේ ඡන්ද තිබෙනවා කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ.

ප්‍රශ්නය – ජාතික ජන බලවේගය අභියෝගයක් නොවන බව ඔබ ප්‍රකාශ කරනවා. හැබැයි මධ්‍යම පළාතේ පැවැති එම රැස්වීමේදි අනෙක් දේශපාලන පක්ෂවල නම් වලට වඩා ජාතික ජන බලවේගයේ නම කථිකයන්ගේ මුවින් පිට වෙන බව අපි දැක්කා. අභියෝගයක් නෙවෙයි නම් ඇයි එහෙම වෙන්නේ?

පිළිතුර – ඔබ එහෙම කියනවා නම් මම ආපිට ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඇයි හැමෝම සජිත් ප්‍රේමදාස මහත්මයාට ගහන්නේ. දේශපාලනය කියන්නේ ඒක තමයි. මධ්‍යම පළාතේ තිබුණු කාන්තා බලමණ්ඩල රැස්වීමේ මගේ කතාවේදී ආණ්ඩුව, පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු අඩුපාඩු ඇති හැම තැනකටම විවේචන එළකළා. එහෙම නැතුව ඔවුන් පමණක් ඉලක්ක කර කතා කළේ නැහැ.

ප්‍රශ්නය – ගණිකා වෘත්තියේ නීතිගත කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේ යැයි කියන කාරණය සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ නොයෙක් ආකාරයේ අදහස්, චෝදනා ඉදිරිපත් කරනවා. අපි පිළිගත්තත් නැතත් එම වෘත්තියේ නියැළෙන සැලකිය යුතු පිරිසක් මේ රටේ ඉන්නවා. ඇත්තටම ගණිකා වෘත්තීයෙන් නීති ගත කළ යුතු එකක්ද ?

පිළිතුර – එම වෘත්තිය අදටත් තහනම් නැහැ. තහනම තියෙන්නේ ගණිකා මඩම් පවත්වාගෙන යෑම. ඒ සඳහා පාදඩ නීතිය තිබෙනවා. අපේ කාන්තාවන් ගණිකා වෘත්තිය තෝරාගන්නේ කැමැත්තෙන්ද ? උත්තරය නැහැ . කවුරුන් හෝ එම වෘත්තිය තෝරගන්නේ අන්තිම අවස්ථාව ලෙසයි. අපි කාන්තාවන් සවිබල ගැන්විය යුත්තේ ගණිකා වෘත්තියේ නීතිගත කර නෙවෙයි. අපි අපේ රටේ කාන්තාවන් රටේ ආර්ථිකයට දායක විය හැකි ලෙස සවිබල ගැන්විය යුතුයි.

ප්‍රශ්නය – ඔබතුමියලගේ රජයක් යටතේ කාන්තාව සවිබල ගැනීම සඳහා ඇති වැඩපිළිවෙළ කුමක්ද ?

පිළිතුර – අපේ රජයක් තුළ කාන්තාව සවි බල ගැන්වීම සඳහා අපි කාන්තා ප්‍රඥප්තිය සකසා තිබෙනවා. කාන්තාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් අප දියත් කරනවා. ඔවුන්ගේ දැනුම ශ්‍රමය රටේ ඉදිරි අභිවෘද්ධිය පිණිස උකහා ගත හැකි ක්‍රමය අපි දන්නවා. මේ වන විට අප රටේ කාන්තාවන් රැකියා ක්ෂේත්‍රය තුළ සිටින්නේ සියයට තිස්තුනක වගේ ප්‍රමාණයක්. ප්‍රසූත නිවාඩු දෙන්න වෙන නිසා කාන්තාවට රැකියා ලබා නොදෙන තත්ත්වයක් තිබෙනවා. ඒවගේම දූ දරුවන් ලැබුණු පසු ඔවුන් රැකබලා ගැනීමට කෙනෙකු නොමැති නිසා රැකියාවට සමුදෙන බොහෝ කාන්තාවන් පිරිසක් සිටිනවා. ඒ වගේම වැඩ කරන තැන්වල ඇති හිංසනය නිසා රැකියාව අතහැරෙන පිරිසක් සිටිනවා. අපගේ රජයක් යටතේ මේ සියලු ගැටලු නිරාකරණය කර කාන්තාව රැකියා සඳහා යොමු කරන හරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

ප්‍රශ්නය – පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ලංකාවට පැමිණීම මාධ්‍ය තුළ මාතෘකාවක් බවට පත්ව තිබුණා. ඔහුගේ පැමිණීමත් සමග පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු වඩා සක්‍රීය කෙරෙන බව ඔවුන්ගේ පාර්ශ්වයෙන් කියවෙනවා. මෙම තත්ත්වයන් ඔබ දකින්නේ කොහොමද ?

පිළිතුර – අද පොදු ජන පෙරමුණ ජනතාව අතර සිටින පක්ෂයක් නෙවෙයි. ඔවුන් ඇත්තටම නැතිවෙලා අවසන්. බැසිල් රාජපක්ෂ මහත්තයා රටේ ඉඳලා නෙවෙයි, ඩී. ඒ. රාජපක්ෂ මහත්තයා වළෙන් නැගිටලා ආවත් පොදු ජන පෙරමුණ ගොඩගන්න බැහැ. වැලලුණු සාටකය ආපහු ගොඩ ගන්නවා කියා හිතන්නවත් බැහැ. ඒක තමයි ඇත්ත කතාව. එනිසා ඔය කියන මහත්තයා ලංකාවට ආව කියන එක හෝ ඔහු ලංකාවෙන් ගියා කියන එක අපට කිසි ප්‍රශ්නයක් ඇති කරවන්නක් නෙවෙයි. ඔහුගේ මොනයම් ආකාරයේ කටයුතු අපගේ දේශපාලනයට බලපෑමක් නොවේ.

ඔහු ආවා කියන කාරණය කියනකොට අපේ ගම්වල කියන “ලහ ගහනකොට හැටයි” කියන කතාව මතක් වෙනවා.

ප්‍රශ්නය – මොකක්ද ඒ කියන්නේ? ඇත්තටම එහි තේරුම මම දන්නෙ නැහැ.

පිළිතුර – කුඹුරුවලට වී ඉහිනවනේ. කුරුනි, ලාස්, බුසල් වලින් තමයි, ඒකේ මිනුම් දඬු තිබෙන්නේ. වී ලාහක් ඉසිද්දීම බුසල් හැටක් ඒවි කියලා මිනිස්සු බලාපොරොත්තු වෙනවා. හැබැයි වී ඉස්සා විතරයි. වී ඇට පැළවෙලත් නෑ ගොයම් ගස් ලොකු වෙලත් නෑ, ගොයම් කරල් හැදිලාත් නැහැ. හැබැයි මිනිස්සු බුසල් හැටක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ තමයි මෙයත්. බැසිල් රාජපක්ෂ ආව කියල ඒ අයගේ කට්ටිය හිතන විදිහට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැහැ.

ප්‍රශ්නය – දේශපාලනයේදී ඉදිරි තක්සේරු කිරීම් හරි වැදගත්. ඔබ පක්ෂයට ඉදිරි මැතිවරණයකදී ලබාගත හැකි වන ඡන්ද ප්‍රතිඵලයන් සම්බන්ධයෙන් යම් අදහසක් තිබෙනවාද ?

පිළිතුර – ඉලක්කම් මෙච්චරයි කියලා මට කියන්න බැහැ. සමීක්ෂණ කළත් නැතත් ඊළඟ මැතිවරණයකදී ඉදිරියෙන් සිටින්නේ සමගි ජන බලවේගයයි. ඒ ගැන කිසි සැකයක් නැහැ. පොදු ජන පෙරමුණ දියවී අවසන්. එක්සත් ජාතික පක්ෂයත් එහෙමම තමයි. ජාතික ජන බලවේගයට සමාජ මාධ්‍ය තුළ යම් ඉඩක් ඇතත් මහපොළොවේ ඡන්ද නැහැ. කොයි අතින් බැලුවත් අපි ඉන්නේ මේ හැමෝටම වඩා ගොඩක් ඉදිරියෙන්. මැතිවරණය තමයි හොඳම සමීක්ෂණය. ඒක තිබ්බහම කවුද ඉදිරියෙන් කියලා හරියටම පෙනේවි.

ප්‍රශ්නය – කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් තිබෙනවා. මෙම විශ්වාස භංග යෝජනාව ගෙන ඒම පිළිබඳව ඔබ ඇත්තටම කැමැත්තෙන්ද ?

පිළිතුර – ඔව්.. කථානායකතුමා මගේ පියාගේ හොඳ යාළුවෙක්. මගේ පියා පාර්ලිමේන්තුවේ සිටි කාලයේ එතුමාගේ ළඟින් හිටි හොඳ හිතවතෙක්. ඒක වෙනම කතාවක්. මෙතුමාගේ භූමිකාව සම්බන්ධයෙන් බරපතළ ගැටලු තිබෙනවා.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment