උසාවියට අපහාස කළ නීතිඥයා රිමාන්ඩ් – නඩුව අවසන් වනතුරු නීතිඥභාවයත් අහෝසියි

432

ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල විසින් කරන ලද නියෝග දිගින් දිගටම නොතකමින් විවෘත අධිකරණය හමුවේදී අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කළ සුසිල් ප්‍රියන්ත ජයතුංග නමැති නීතිඥවරයා ලබන 3වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20දා) නියෝග කළේය.

එම නීතිඥවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඇතුළත් චෝදනා පත්‍රයක් කෙටුම්පත් කර ලබන 3වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නීතිපතිවරයාට නියෝග කළ ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර හා කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරු මඬුල්ල එම නඩුව අවසන් වනතුරු ඔහුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ද නියෝග කළේය. ඔහු වහාම කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර මානසික විශේෂඥ වෛද්‍යවරයකු මගින් මානසික වෛද්‍ය වාර්තාවක් තම අධිකරණයට කැඳවීමට ද නියම කළ විනිසුරු මඬුල්ල ලබන 3 වැනිදා ඔහු යළි අධිකරණය හමුවට ඉදිරිපත් කරනා ලෙසට ද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

එම නීතිඥවරයා විසින් ගොනකර තිබූ නඩුවක් ඊයේ (20 දා) විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ, අධිකරණයට හා අධිකරණ විනිසුරුවරුන්ට එරෙහිව කරුණු දැක්වීම හා අධිකරණයට හා විනිසුරුවරුන්ට එරෙහිව එකී නඩුකරයට අදාළ ලේඛන ඉදිරිපත් කොට තිබීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිරංජන් විග්නේෂ්වරන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම විනිසුරු මඬුල්ලේ සාමාජිකයන්ට එරෙහිව තමන් ව්‍යවස්ථාපිත යුතුකම් චේතනාන්විතව උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇති බැවින් සිය නඩුකරය කල්තබා වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලෙසට ඉල්ලා සිටිමින් එම නීතිඥවරයා දිගින් දිගටම කරුණු දැක්වීය. පළපුරුදු නීතිඥවරයකු ලෙස අධිකරණයක් හමුවේ හැසිරිය යුතු ආකාරය පිළිබඳ දැනුවත්භාවයක් තිබිය යුතු බැවින් අධිකරණයට අපහාස වන ආකාරයෙන් නොහැසිරෙන ලෙස විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු විනිසුරු මඬුල්ල කළ අවවාද නොතකමින් දිගින් දිගටම කටයුතු කිරීම නිසා අධිකරණ කටයුතු තාවකාලිකව නවතා දමා අධිකරණ ශාලාවෙන් පිටව යෑමට විනිසුරු මඬුල්ල පියවර ගෙන තිබිණි.

ඉන් පැයකට පමණ පසුව අධිකරණ ශාලාවට පැමිණි විනිසුරු මඬුල්ල සිය ස්ථාවරය වෙනස් කරගන්නේ දැයි එම නීතිඥවරයාගෙන් විමසා සිටියේය. තමන් මේ වනවිට අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අටදෙනකුට එරෙහිව නඩු පවරා ඇති බවත් අගවිනිසුරුවරයා ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ද පැමිණිලි කර ඇති නමුත් ඉතිරි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනා ඇතුළත් විනිසුරු මඬුල්ලක් හමුවේ සිය නඩුව කැඳවීම සම්බන්ධයෙන් තමා කළ ස්ථාවරයේ වෙනසක් නැතැයි එම නීතිඥවරයා පැවැසීය.

මෙම නඩුව තම විනිසුරු මඬුල්ල හමුවේ කැඳවන ලෙසට නියෝග ලබාදී ඇත්තේ අගවිනිසුරුවරයා බවත් ඔහු පවසන පරිදි කටයුතු කිරීමට ගියහොත් නඩු ඇසීමට කිසිවකු සිටිය නොහැකි බවත් සාමාජික විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය විවෘත අධිකරණය හමුවේ එම නීතිඥවරයාට පැවැසුවාය.

දිගින් දිගටම මෙලෙස අධිකරණයට හා විනිසුරුවරුන්ට එරෙහිව කටයුතු කිරීම නිසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පියවර ගන්නා ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් පැවැසීමට ඇත්තේ කුමක් දැයි එම නීතිඥවරයාගෙන් විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රීති පද්මන් සූරසේන මහතා විමසා සිටියේය.

තමා කිසිම අධිකරණයකට හෝ විනිසුරුවරයකුට එරෙහිව ද්වේෂ සහගතව කටයුතු කර නොමැති බවත්, කිසිම අධිකරණයකට අපහාස වන ආකාරයෙන් කටයුතු කර නොමැති බවත් නීතිඥ ජයතුංග මහතා පැවැසීය. සිය ස්ථාවරයේ වෙනසක් නොමැති බව ද ඔහු පවසා සිටියේය.

එම නීතිඥවරයා ඔහුගේ ස්ථාවරය වෙනස් නොකර තවදුරටත් සිටීම නිසා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගන්නා ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමට තරම් කරුණු නොමැති බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල එම නීතිඥවරයාට එරෙහිව එවැනි වෙනත් නඩුකර ඇතිදැයි අධිකරණය හමුවේ සිටි ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයාගෙන් විමසා සිටියේය.

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් මත මේ වනවිටත් ඔහුට එරෙහිව චෝදනා කෙටුම්පත් කිරීම පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව සලකා බලමින් සිටින බවත්, එයට අමතරව ඔහුට එරෙහිව තවත් පෙත්සම් හයක් තමා වෙත ලැබී ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයා විනිසුරු මඬුල්ලට පැවැසීය. සිය ස්ථාවරයේ වෙනසක් ඇතිදැයි විනිසුරු මඬුල්ල තෙවන වරටත් එම නීතිඥවරයාගෙන් විමසා සිටියදී සිය ස්ථාවරයේ වෙනසක් නොමැති බව ඔහු පැවැසීම නිසා විවෘත අධිකරණය තුළට බන්ධනාගාර නිලධාරීන් කැඳවූ විනිසුරු මඬුල්ල ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට පත්කරන ලෙසට නියෝග කළේය. එම අවස්ථාවේදී විනිසුරු මඬුල්ලට ස්තුතිය පළකළ එම නීතිඥවරයා තමන්ට යමක් ප්‍රකාශ කිරීමට ඇති බව පවසා සිටියේය. තමා රෝගියකු නිසා වෛද්‍ය ප්‍රතිකාර කිරීමට නියෝගයක් කරන්නැයි හෙතෙම බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටිමින්ම පැවසූ අතර එය බන්ධනාගාර නිලධාරීන්ට දැන්වූ පසු ඔවුන් සුදුසු පියවර ගනු ඇතැයි අධිකරණය පැවසීය. මේ වනවිට ඔහුගේ නීතිඥභාවය අහෝසි කර ඇති බැවින් තවත් කිසිවක් කීමට ඉඩදිය නොහැකි බව ද විනිසුරු මඬුල්ල පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment