මහ බැංකු වැඩි වැටුප් කල් දාන්න

164

මුදල් කාරක සභාවෙන් දැඩි නිර්දේශ
සති හතරකින් වාර්තාවකුත් ඉල්ලයි

රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය නොතකා මහ බැංකුව විසින් අත්තනෝමතික ලෙස කර ගනු ලැබූ වැටුප් වැඩි කර ගැනීම වහාම කල් දමන්නැයි දැඩිව නිර්දේශ කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඊයේ (20 දා) ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

එම වාර්තාව ඉදිරිපත් කරමින් එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව සඳහන් කළ අතර 2024-2026 යන කාලසීමාව සඳහා වැඩි කළ මෙම වැටුප් වැඩි කිරීම අසාධාරණ යැයි දැඩිව නිර්දේශ කරන බව ද එම වාර්තාවෙන් කියා සිටියේය.

එහිදී ඒ මහතා සඳහන් කර සිටියේ, වැටුප් වැඩිකිරීම සලකා බැලීම සඳහා මුදල් ඇමැතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයාගේ එකඟත්වය ඇතිව ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් කඩිනමින් පත්කරන ලෙසට ද නිර්දේශ කරන බවය.

ඒ පිළිබඳ වාර්තාව සති 4ක් ඇතුළත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසත් නිර්දේශ කර සිටි හර්ෂ ද සිල්වා මහතා ලැබී ඇති කරුණු මත අන්‍යොන්‍යව පිළිගත් විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩිකිරීම ශ්‍රී ලංකා මහ බැංකුව කල් දැමිය යුතු බවටත් නිර්දේශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ මෙන්ම විශේෂිත කාර්ය මණ්ඩලවල ප්‍රවීණත්වය ප්‍රමුඛ කර සියලු කාර්ය මණ්ඩල ශ්‍රේණිවල පාරිශ්‍රමික සාධාරණ ලෙස ගැලපුම් කිරීම මෙම කමිටුව විසින් සිදුකරනු ඇති බවට ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව බලාපොරොත්තු වන බව ද හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

වෘත්තීය කාර්ය මණ්ඩලයට වැටුප් තීරණය කිරීමේ ක්‍රමවේදය වෘත්තීය නොවන සහ සෙසු කාර්ය මණ්ඩලයෙන් වෙන් කළ යුතු බවට දැඩි ලෙස නිර්දේශ කර ඇති අතර, අනාගත සංශෝධනවලදී ශ්‍රී ලංකා මහ බැංකු පාරිශ්‍රමික විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීමට ද රජයේ මුදල් කාරක සභාව නිර්දේශ කර තිබේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment